ව්‍යසනයෙන් විපත පත් ජනතාව තුළ ණය ආතතියක් දකින්න ලැබෙනවා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

ව්‍යසනයෙන් විපත පත් ජනතාව තුළ ණය ආතතියක් දකින්න ලැබෙනවා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

මහනුවර දිස්ත්‍රික්කයේ: ගම්පළ නගරය, සරසවිගම, දෙල්තොට, දොලුව ආදි ප්‍රදේශවල සුළි සුළඟින් සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාව පොලියට ණය ලබාදෙන පුද්ගලයින් ගෙන් මුදල් ලබාගැනීමටත් කටයුතු කර තිබෙන බවත්,

ඒ අනුව මෙම ව්‍යසනයෙන් විපත පත් ජනතාව තුළ ණය ආතතියක් දකින්න ලැබෙන බවත්, ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා තිබෙන  ආණ්ඩුවේ ආයතන අතර මනා සම්බන්ධතාවයක් නැති බවක් ද දක්නට ලැබෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා...

ආපදාවට ලක්වුණ පුද්ගලයින් තමන් සතු භාණ්ඩ උකස් කරලා

‘‘මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පළ නගරය, සරසවිගම, දෙල්තොට, දොලුව ආදි ප්‍රදේශවල සුළි සුළඟින් සහ නාය යෑම්වලින් විපතට පත් ජනයා ගේ තත්ත්වය පිළිබඳව සිදුකළ සමීක්ෂණවලින් කරුණු කිහිපයක් හෙළි වී තිබෙනවා. සුළි සුළගින් සහ නාය යෑම්වලින් විපතට පත් බොහෝ පිරිසකට ඔවුන්ගේ ජිවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් මුදලක් රජය විසින් ලබා දීලා නැහැ. ඒ වගේම ව්‍යසනයෙන් විනාශ වුණ නිවාස සඳහා කිසිඳු තක්සේරුවකින් තොරව ලක්ෂ 5 ක මුදලක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පළ නගරය, සරසවිගම, දෙල්තොට, දොලුව ආදි ප්‍රදේශවල එලෙස මුදලක් ලබාදෙන්න රජය කටයුතු කරලා නැහැ.  ඒ වගේම සුළි සුළඟ සහ නායයෑම්වලට පසු වැඩිහිටි පුද්ගලයින්, ආබාධ සහිත පුද්ගලයින් සහ කාන්තාවන් ගේ ජීවන තත්ත්වය දුක්බර තත්ත්වයකට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ආපදාවට ලක්වුණ පුද්ගලයින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යෑම සඳහා ඔවුන්ගේ වටිනා භාණ්ඩ උකස් කිරීමක් සිදුකර තිබෙන බව වාර්තා වෙනවා. මෙම පුද්ගලයින් පොලියට ණය ලබාදෙන පුද්ගලයින් ගෙන් මුදල් ලබාගැනීමටත් කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම ව්‍යසනයෙන් විපත පත් ජනතාව තුළ ණය ආතතියක් දකින්න ලැබෙනවා. ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා තිබෙන  ආණ්ඩුවේ ආයතන අතර මනා සම්බන්ධතාවයක් නැති බවක් ද දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවට මුදල් තිබෙනවා ද කියා සැකයි

කෙසේ නමුත් පසුගිය දා ඇතිවුණ ගංවතුර සහ නාය යෑම්වලින් ශ්‍රී ලංකාවට සිදුවුණ සමස්ථ හානිය ඩොලර් මිලියන 4ක් ලෙස ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා. නමුත් උදාහරණයක් ලෙස සුනාමි ව්‍යසනයෙන් පසු ආධාරක සමුළුවකට නිවැරදි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න අපොහොසත් වුණා. ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව ආධාරක සමුළුවෙන් ඩොලර් බිලියන 2.2 ක් ඉල්ලුවත් ශ්‍රි ලංකාවට ලැබුණේ ඩොලර් බිලියන 1.1 ක් පමණයි. නමුත් 2022 පාකිස්ථානයට ඇතිවුණ ගංවතුර තත්ත්වයත් සමග ඔවුන් වෙනස් ආකාරයක ගණනය කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පාකිස්ථානයට සිදුවු හානිය ඩොලර් බිලියන 30ක් බව ඔවුන් ගණනය කර තිබුණා. ඒ අනුව 2026 අයවැය ඇස්තමේන්තුව සහ 2025 පරිපුරක අයවැය තුළින් රුපියල් බිලියන 500 ක් වෙන් කරන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මුදල් තිබෙනවා යැයි කියන කාරණය මා පිළිගන්නේ නැහැ. ඒ වගේම ව්‍යසනය හේතුවෙන් ආණ්ඩුවේ ඉලක්ක සහ තීරණ කිසිසේත් වෙනස් නොකරන බව හරිණි අමරසූරිය අගමැතිවරිය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් එම තත්ත්වය වෙනස්කළ යුතු වෙනවා.

සමස්ත පාඩුවබිලියන 6ක් හෝ 7ක්

කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ ඇතිවන මුදල් හිඟය කල් තියා පුරෝකථනය කරමින් මුලික උපකල්පන දෙකක් භාවිතා කර තිබුණා. මෙවැනි විනාශයක් යළි ගොඩනැගිමේ පිරිවැය විනාශයේ පිරිවැයට වඩා වැඩියි. උදාහරණය විහිදියට උඩරට දුම්රිය මාර්ගය නැවත සකස් කරන්න වසරකට වැඩි කාලයක් ගත වන බව රජය ප්‍රකාශ කර තිබුණා. ඒ හරහා සංචාරක ව්‍යාපාරයට ඇති වන හානිය ඒ හරහා මිනිසුන් ගේ ජන ජීවිතයට වන හානිය රජය විසින් ගණන් බලා නැහැ. ඒ නිසා මෙවැනි ව්‍යසනයක දී යළි ගොඩනැගිමේ පිරිවැය විනාශයේ පිරිවැයට වඩා වැඩියි. ඒ වගේම යළි ගොඩනැගිමේ දී දිගු කාලින ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන්න සිදුවෙනවා.  සංවර්ධනයේ සාරවත් අද්දැකීම් මුලික කරගෙනයි සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාර්ථක උපකල්පන සිදුකරන්නේ. ඒ වගේම ලෝක බැංකුවේ පුරෝකථනවලට වඩා එහාට ගොස් ව්‍යසනය හේතුවෙන් සිදුවුණ හානිය සහ වක්‍ර හානිය පිළිබඳව ගණන් බලා සමස්ත පාඩුව පිළිබඳව ගණනයක් කිරීමක් ලෝකය හමුවේ තැබිය යුතුයි.  ඒ වගේම ඩොලර් බිලියන 6 ක හෝ 7 ක සමස්ත පාඩුවක් මෙම ව්‍යසනය හේතුවෙන් සිදුවි ඇති බව මේ වනවිට ගණනය කර තිබෙනවා. එය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ අනුව සැබැ තත්ත්ය ලෝක බැංකු ඇස්තමේන්තුවට වඩා දෙගුණයක් වැඩිවී තිබෙනවා.

පළමුව සර්ව පාක්ෂික සමුළුවක්

මේ අනුව රජය සියලු ම පක්ෂවල සහභාගිත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කටයුතු කරයි කියලා සමගි ජනබලවේගය විශ්වාස කරනවා. එම සර්වපාක්ෂික සමුළුව හරහා ආධාරක සමුළුවට පදනම සකස් කර ගන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර ආධාරක සමුළුවේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතන, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව යනාදි බහුපාර්ශ්විය ආයතනවලට ආරාධනා කළ යුතුයි. එමෙන්ම ඉන්දියාව , චිනය බඳු ද්විපාර්ශ්විය හිතමිතුරන්ට ආරාධනා කළ යුතුයි. කෙසේ නමුත් 2025 දෙසැම්බර් 3වෙනි දා රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ දෙයක් ද නැද්ද යන බොළඳ තර්කවල නොසිට රටගැන සිතා සැබැ ලෙස ආධාරක සමුළුවක් කැදවන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ හරහා විපතට පත් ජනයා වෙනුවෙන් කඩිනමින් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.

දෙවනුව ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න

ඒ වගේම ආධාරක සමුළුවක් කැඳවා රටේ සමස්ත පාඩුව පිළිබඳව ඉදිරිපත් කරන්න රජය කටයුතු කළ යුතුයි. නමුත් ඒ පිළිබඳව තොරතුරක් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ. ආධාරක සමුළුවක් පවත්වා සමස්ත පාඩුව පිළිබඳව ඉදිරිපත් කරන්න රජය සුදානම් විය යුතුයි. ඒ සඳහා සමගි ජනබලවේගය මේ මොහොතේ ආණ්ඩුවට උදව්වක් කරනවා.  ඒ වගේම ව්‍යවසයෙන් සිදුවුණ මුළු පාඩුව ඇස්තමේන්තුගත කර ගත යුතුයි.  ලෝක බැංකු ඇස්තමේන්තුවෙන් පිටතට ගොස් ආර්ථික පාඩුවත් ගණනය කර ඇස්තමේන්තුව සිදුකළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවිමේ ක්‍රියාවලියේ දී ස්වභාවික උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිවන ආකාරයට කටයුතු කිරිම පිළිබඳව, පුණරුත්ථානය සිදුකර ගන්නා ආකාරය පිළිබදව, ප්‍රතිසංස්කරණය කර ගන්නා ආකාරය සහ ප්‍රතිගොඩනැංවීමේ ක්‍රියාවලිය සකස් කර ගන්නේ කෙසේ ද යන්න ඉදිරිපත් කළ යුතුයි.''

මෙහි දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට ද මහාචාර්යවරයා පිළිතුරු සැපවූයේ ය.

මාධ්‍යවේදියා: ඔබතුමා මේ පෙන්වන්නේ සජිත් ප්‍රේමදාස කියන දේ නිවැරදි බවද

විපක්ෂ නායක ගේ තර්කය IMF පිළිගත්තා

පිළිතුර: ''කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ දෙය ප්‍රායෝගිකව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් කලින් හඳුනාගෙන ඒ සඳහා විසදුම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා.  නමුත් ඒ පිළිබඳව තිබෙන සමාජ කතිකාවත ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් ලෙස පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. රටේ සිටින ඇතැම් නායකයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දී ඔවුන් කියන දේ පිළිගන්නවා මිසක ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවැරදි දත්ත ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුවත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තමාට බලය ලැබුණොත් යළි සාකච්ඡාවට භාජය කිරීමට කැමැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ තර්කයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් එකඟ වුණා. බලය ලබාගැනිමෙන් පසු ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් එකඟ වුණා. මෙවැනි සාකච්ඡා සිදුවන බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන සාකච්ඡාවල මානුෂිය තත්ත්වයක් තිබෙනවා. පොදුජනයා වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කරන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. නමුත් රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. රට නොදන්නා සජිත් ප්‍රේමදාසව එළියට ගන්නයි අපි උත්සහ කරන්නේ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න