අද රට පුරා කිරිබත් කා, රබන් ගසා සැමරිය යුත් දිනයක් යැයි පිිවිතුරු හෙළ උරුමය උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (16) පිිවිතුරු හෙළ උරුමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
ප්‍රේමදාස ගේ කොන්ද අනුරට නෑ
''අවුරුදු හතරක් පුරා රටට ලොකු ශාපයක් වෙලා සිටිය ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් අද ලංකාවෙන් යනවා. ඒ සතුට සමරන්නයි අද අපි කිරිබත් කාලා මාධ්‍යවේදින්ටත් කිරිබත් වලින් සංග්‍රහ කරන්නේ. ඇත්තෙන් ම අද රට පුරා කිරිබත් කාලා රබන් ගහලා සමරන්න ඕනි සතුටු දවසක්. ජුලී චංග් 2022 පෙබරවාරි සිට 2026 ජනවාරි දක්වා අවුරුදු හතරක් ලංකාවේ තානාපති විධියට හිටියා. සාමාන්‍යයෙන් තානාපති කෙනෙක් ඉන්නේ අවුරුදු තුනයි. ජුලී අවුරුදු හතරක් ම තියා ගත්තේ වෙනත් කිසිම තානාපති කෙනෙකුට වඩා ලංකාව ඇමෙරිකාවේ අණසකට යටත් කරන්න ජුලී සමත් වුණු නිසා. 1980 දශකයේ ඉන්දියානු මහ කොමසාරිස් ජේ. එන්. ඩික්සිත් ගෙන් පසු ලංකාව තමන් ගේ පාලනයට නතු කර ගන්න සමත් වුණු එකම තානාපති ජුලී. 1991 දී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් ලංකාවේ පාලනයට ඇඟිලි ගහන්න ආවාත් එයාව ප්‍රතික්ෂේපිත පුද්ගලයකු නැතිනම් පර්සනා නන් ග්‍රාටා තත්ත්වයට පත් කරලා ලංකාවෙන් පිට මං කළා. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාට තිබුණු කොන්ද වත්මන් ජනාධිපතිතුමාට නැති නිසා ජුලී චංග් තමන්ට ඕනෑ දවසේ යන තුරු ම එයාව ප්‍රතික්ෂේප කළේ නෑ.
අනුර දිසානායක ඇමරිකානු රූකඩයක්
ජුලී චංග් ඇමෙරිකාවේ වාසනාවට අපේ අවාසනාවට ලැබුණු තානාපති කෙනෙක්. ඇමෙරිකාවට ඕනෑ විධියට ලංකාවේ ඉතිහාසය ලියපු තානාපති කෙනෙක්. 2022 අරගලයේ දී තිරයේ පිටුපස අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය දෙකම කළේ ජුලී. ඒක කෙතරම් සූක්ෂමව කරා ද කිව්වොත් අපේ තරුණ දරුවෝ ඇමෙරිකානු තිර පිටපතේ තමන්ට පැවරුණු කොටස ඉටු කරන්න ගියේ රට බේරා ගන්න යනවා කියලා හිතලා ජාතික කොඩිය අතට අරන් ජාතික ගීය මුමුණමින්. ඒ විතරක් නොවේ. 2024 දී 3% මාලිමාව රාජ්‍ය බලය ලබා ගන්න බලවේගය බවට සමාජය ඉදිරියේ පුම්බලා තැබීමේ ව්‍යාපෘතියේ මහ මොළකාරියත් ජුලී. ඒ වැඩේ කොච්චර ලස්සනට කළා ද කිව්වොත් අපේ රටේ ජනතාව ඇමෙරිකානු රූකඩයක් වුණු අනුර දිසානායකට ඡන්දය දුන්නේ පුනරුද යුගයක් උදා කරනවා කියන සත් චේතනාවෙන්. අවුරුදු 60ක් චීනය සෙවණේ හැදුණු වැඩුනු මාලිමාව බටහිර සුරතලෙකු කර ගැනීම තමයි ජුලී ලබපු විශිෂ්ටතම ජයග්‍රහණය. බලන්න මේ රූපය දිහා. මේ ඡායාරූපය තිබුණේ චුලී චංගේ එක්ස් ගිණුමේ. මේ ජුලී මාලිමා මූලස්ථානයට ආපු අවස්ථාවක්. බලන්නකෝ බුදු හාමුදුරුවන් ඉදිරියේ අනේපිඬු සිටුතුමා ඉන්නවා වගේ යටහත් පහත්ව ඉන්නා අපූරුව. මේ කීකරුකම තමයි මාලිමා නායකයා රටේ නායකයා වීමට බලපෑවේ.
ජනාධිපතිතුමනි... දැන්වත් දෙපයින් හිට ගන්න
මාලිමා ජයග්‍රහණයෙන් පස්සේ මුලින් ම අතුරුදහන් වුණේ ජුලීගේ එක්ස් පණිවිඩ. කලින් ආණ්ඩු තිබිය දී පාරකට පස් කන්දක් කඩා වැටුණත් අධිවේගි මාර්ගයට මොනරු ආවත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරලා එක්ස් පණිවිඩ නිකුත් කරපු ජුලී පසුගිය මාස 14ට චෝදනා මුඛයෙන් පණිවිඩ ලියන විධිය අමතක වුණු ගානටයි හිටියේ. මේ ආණ්ඩුවේ දූෂණ, මැරකම්, බැරිකම් කිසිවක් ජුලීට පෙනුණෙ නෑ. ඇත්තෙන් ම මේ ආණ්ඩුවට විරුද්ධව ජුලී ප්‍රකාශයක් කළා නම් ඒක ජුලී එදිරිව ජුලී ප්‍රකාශයක් වෙන්න ඉඩ තිබුණා. මී ළඟ තානාපති එරික් මේයර් බුදු දහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබෙන නිසා මී ළඟ ජෝන් ඩොයිලි වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා එරික් ලංකාවට ඇවිල්ලා බුදු දහම ගැන භික්ෂූන් වහන්සේලා සමග සංවාද කරන කොට බොදු බැති සිත අවදි කරගත යුත්තේ ප්‍රවේශමෙන් කියලා අපි මතක් කරනවා. ජුලී චංගේ අල්ලේ නැටවුණු අනුර ජනාධිපතිතුමා එරික්ගේ අල්ලේත් නැටවෙන්නේ නැතිව දැන්වත් දෙපයින් හිට ගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
හරිණි අමරසූරිය වැරදුණි අමරසූරිය වුණු විදිය
මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට නොවුණු විධියට වැරදීම් වෙන ආණ්ඩුවක්. මුලින් ම සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමලිංගික ජෝඩුවලට ගැළපෙන පාරාදීසිය විධියට ලංකාව ප්‍රවර්ධනය කරන්න යෝජනා කරලා ලිපියක් යැව්වා. ඒකට සමාජ විරෝධය ආවාම වැරදීමක් කියලා ඉවත් කර ගත්තා. ඊට පස්සේ හදිසි නීතිය යටතේ කුණාටු ආපදාවකට කිසිම අදාළ නැති සමලිංගික සබඳතා ගැන හදිසි නීති රෙගුලාසිවලට දාලා ගැසට් මගින් ප්‍රසිද්ධ කළා. ඒ ගැන ප්‍රශ්න කරන කොට ඒකත් වැරදීමක් කිව්වා. හයවන ශ්‍රේණියේ ඉංග්‍රිසි පාඩමකට සමරිසි වෙබ් අඩවියක සබැඳිය දාලා ඒක අහු වුණාම අයියෝ ඒකත් වැරදීමක් කිව්වා. හයවන ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය පොතේ පිටකවරයට සමරිසි කොඩියේ වර්ණ යොදා තිබුණාම ඒකත් වැරදීමක් කිව්වා. දැන් ඔන්න සමලිංගික වැරදි හතරක් එක පෙළට.
දේදුන්නෙන් එන සමනලුනේ...
පස්වැනි වැරැද්ද අපි දැක්කේ ජනවාරි 12දා පුවත්පත්වල පළමු පිටුවේ තිබුණු දැන්වීමක. ඒ දැන්වීම පළ කළේ ආණ්ඩුවේ ආයතනයක් වන මහජන බැංකුව. මහජන බැංකුව පාසල් දරුවන් ඉලක්ක කරලා පළ කරපු දැන්වීමේ සමරිසි කොඩියේ වර්ණ යොදා තිබෙනවා. මේ තිබෙන්නේ ජනවාරි 12 මව්බිම පුවත්පතේ පළ කරපු දැන්වීම. දැන් කාට හරි කියන්න පුළුවන්. අපි දැම්මේ දේදුන්නක් මිස සමරිසි කොඩිය නොවේ කියලා. ඒක හොඳ ගැලවිජ්ජාවක්. මොකද සමරිසි කොඩියට අරගෙන තිබෙන්නේ දේදුන්නේ පාටනෙ. ඒත් අද දරුවෝ අහසේ දේදුනු දකිනවාට වඩා තම පරිසරයේ සමරිසි කොඩිය දකින්න පුළුවන්. ඒ නිසා දරුවන්ට මේ වර්ණ සංයෝජනය දැක්කාම මතක් වෙන්නේ සමරිසි කොඩිය මිස දේදුන්න නොවේ. ඒකෙන් කියන්නේ දරුවන්ට දේදුන්නේ වර්ණ කියා දෙන්න එපා කියලා මෝඩ විධියට මේ පණිවිඩය තෝරා ගන්න එපා. අදාළ පාඩමේ දී දේදුන්න ගැන එහි වර්ණ ගැන කියලා දෙන්න. ඒත් යටි අරමුණු ඇතිව ප්‍රචාරක දැන්වීම් තුල මේ වර්ණ භාවිතා කරලා අපේ දරුවන්ව ගේ සිත් අවුල් කිරීමේ ආණ්ඩුවේ කුමණ්ත්‍රනය නම් පරාජය කළ යුතුයි කියලයි අපි කියන්නේ. අපට සමරිසි ප්‍රජාවත් එක්ක ගැටුමක් නෑ. නමුත් පුංචි දරුවන්ගේ ඔළුවලට සමරිසි අදහස් දාලා ඔළු අවුල් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි. ආණ්ඩුවට හරියට වරදිනවා නෙ... ඒ වැරදීම් වෙන්නෙත් සමරිසි කාරණා සම්බන්ධයෙන්. එතැනත් බහුතරයක් වරදින්නේ දරුවන් සම්බන්ධයෙන්. අගමැතිතුමියට මෙතරම් වැරදි වෙනවා නම් අපට එතුමියට හරිණි අමරසූරිය වෙනුවට වැරදුණි අමරසූරිය විධියටයි අමතන්න වෙන්නේ.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බුදු පිළිම අරහං ද...?
ත්‍රිකුණාමලයේ වෙරළ සංරක්ෂණ කලාපයක් තුළ බුදු පිළිමයක් තැන්පත් කළා කියලා භික්ෂූන් වහන්සේලා සිවු නමක් ඇතුළු නවදෙනෙකුට එරෙහිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පැවරුවා. එහි ප්‍රතිඵලයක් විධියට ඒ අය දැන් රක්ෂිත බන්ධනාගාරයේ. ජනාධිපති උතුරට ගිහින් පොංගල් බත් කන කොට අපේ හාමුදුරුවරුන්ට ලැබුණේ හිර බත්. අපේ බලංගොඩ කස්සප හාමුදුරුවන් උපවාසයක යෙදිලා ඉන්න නිසා උන් වහන්සේට හිර බත්වත් නෑ. මේක නිරාගමික ආණ්ඩුවක්. බෞද්ධ විරෝධි ආණ්ඩුවක්. වසර 2,300ක ශාසනික ඉතිහාසයේ බුදුන් වහන්සේව අත්අඩංගුවට ගත් ලක් ඉතිහාසයේ පළමු පාලකයා විධියට අනුර දිසානායක මැතිතුමා ඉතිහාසයට එක් වෙලා ඉවරයි. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසි කාලයේ දීවත් බුදු පිළිමයක් අත්අඩංගුවට අරන් පොලිසියේ රඳවා ගෙන නෑ. බෞද්ධයාට බුදු පිළිමයක් කියන්නේ ජීවමාන බුදුන් වහන්සේට සමානයි. බුදු පිළිමයට වඳින්නේ බුදුන් වහන්සේ වඳිනවා කියලා හිතා ගෙනයි. බුදු පිළිමයට බුද්ධ පූජාව තියන්නේ බුදුන් වහන්සේට දන් පිළිගන්නවා කියලා හිතා ගෙනයි. බුදු පිළිමයට මල් පහන් පූජා කරන්නේ බුදුන් වහන්සේ වන්දනා කරනවා කියලා හිතාගෙනයි. එහෙව් බුදු පිළිමය තමයි මාලිමා ආණ්ඩුව අත්අඩංගුවට ගත්තේ.
අවාසියා දෘෂ්ටියා බාධා
මේ බුදු පිලිමය තැන්පත් කළේ හන්දියක ගහක් යට නොවේ. රජයේ ලියාපදිංචි පන්සලක. නමුත් ලංකාව පුරාම වෙරළ සංරක්ෂණ කලාපයේ හෝටල්, ආපන ශාලා, වෙළඳසැල් තිබෙනවා. මේ එකක්වත් පේන්නේ නැති වෙරළ සංරක්ෂණේට පෙනුණේ ලියාපදිංචි පන්සලක බුදු පිළිමය විතරයි. ත්‍රිකුණාමලය වෙරළ විතරක්ම ගමු. මේ පන්සලට අමතරව තවත් ආගම් දෙකක සිද්ධස්ථාන වෙරළ සංරක්ෂණ කලාපයේ තිබෙනවා. හැබැයි මේ කිසිම අනවසර ඉදි කිරීමක් ආණ්ඩුවට පේන්නේ නෑ. එතකොට අවාසියා දෘෂ්ටියා බාධා. අපි ආණ්ඩුවට කියන්නේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් සැමට සම සේ ක්‍රියාත්මක කරන්න. එහෙම නැතිව බුදු දහම විනාශ කරන අවියක් බවට නීතිය පත් කරන්න එපා.
ජවිපෙට කෙළෙහි ගුණයක් නෑ
වත්මන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු බහුතරයක් ජවිපෙ භීෂණ සමයේ ජීවිතය බේරා ගත්තේ පන්සල්වල හැංගිලා. දන්බත් වලින් පෝෂණය වෙලා. සමහරු සිවුරු දරාගෙන ශ්‍රමණ වේශය අරගෙන බොරුවට මහණ වුණා ජීවිතය බේරා ගන්න. තමන්ගේ ජීවිතය බේරා දුන්නු තමන්ව පෝෂණය කළ පන්සලට මාලිමාව මෙතරම් වෛර කරන්නේ කෙලෙහි ගුණයක් නැති නිසා කියලයි අපට පේන්නේ.''


