මෑතක දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එල්ල වූ රාජ්‍ය මුදල් විෂයකට අදාළව රුපියල් මිලියන 16.6ක අයුතු භාවිතය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන්, නීතිපතිවරයාට එල්ල වන සමාජ මාධ්‍ය බලපෑම් සහ චෝදනා දිගින් දිගටම දක්නට ලැබේ.
සංවිධානාත්මකව අසත්‍ය හෝ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා නීතිපතිවරයා ගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය අහිමි කිරීමට, ඔහු ගේ ගෞරවයට හානි කිරීමට සහ ජන විශ්වාසය පළුදු කිරීමට කණ්ඩායමක් උත්සාහ දරන බව පැහැදිලිය.
මත දෙකක්
උදාහරණයක් ලෙස, විදේශගතව සිටින හිටපු මාධ්‍යවේදී වෘත්තීය සමිති නායකයකු වන සනත් බාලසූරියගේ මෑත Facebook පළ කිරීමක දී (සන්ඩේ ටයිම්ස් 2026 ජනවාරි 11වෙනි දා වාර්තාව ආශ්‍රිතව) නීතිපතිවරයාට බරපතළ චෝදනා එල්ල කර ඇත. එහිදී නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව තුළ පවතින්නේ යැයි කියනු ලබන මත භේදය (නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සාක්ෂි මදි බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් චෝදනා ගොනු කළ හැකි බවත්) “කුමන්ත්‍රණයක්” හෝ “පක්ෂග්‍රාහී බවක්” ලෙස විකෘති කර ඇත.
නීතිපති ගේ නිල බලය
නීතිපතිවරයා රජයේ නීතිඥවරයා මෙන් ම රජයේ ප්‍රධාන නඩු පවරන්නා ලෙස ස්වාධීන තනතුරකි. එම තනතුරේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ඇත. ඔහු කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව, නීති පද්ධතිය සහ වෘත්තීය ආචාරධර්ම මත පදනම්ව ය. ප්‍රමාණවත් සාක්ෂි ඇති දැයි සලකා බැලීමෙන් අනතුරුව නඩු පැවරීම හෝ නොපැවරීමේ තීරණය හුදෙක් නීතිපතිවරයා ගේ අර්ධ අධිකරණමය බලය (quasi-judicial capacity) යටතේ පවතින්නකි. විනිසුරුවරයකු මෙන් දේශපාලන සාධක නොසලකා මෙම බලය භාවිතා කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය විසින් තහවුරු කර ඇත (උදා: SC/APPEAL/104/2024 සහ CA/WRIT/441/2021).
මෙවැනි බලපෑම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන මරු පහරකි. මෑතක දී (2025 පෙබරවාරි) සනත් බාලසූරිය මහතා ගේ Facebook පළ කිරීම් හේතුවෙන් ක්‍රිෂ් මුදල් විශුද්ධිකරණ නඩුවේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වූ ආකාරය මෙයට උදාහරණයකි. එවැනි උත්සාහ නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් නොව, සමස්ත අධිකරණ පද්ධතියට (ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළුව) ද එල්ල වී අකර්මණ්‍ය කළ හැකි ය.
නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සියලු පාර්ශවවල වගකීමකි. දේශපාලන බලපෑම්වලින් තොරව නීතිපතිවරයාට ක්‍රියා කිරීමට ඉඩ සලසා දිය යුතුය.

