මාලිමා ආණ්ඩුව විසින් අලුතින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තිය පාරිභෝගිකයන්ට මෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන්නක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර තිබුණේ Sajith Premadasa face book පිටුව තුළ සටහනක් තබමිනි.
එහි වැඩි දුරටත් මෙලෙස සටහන් කර තිබුණි.
වීදි ලාම්පු සඳහා ගාස්තුත් පාරිභෝගිකයින් ගෙන්
''මාලිමා ආණ්ඩුව විසින් අලුතින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තිය පාරිභෝගිකයන්ට මෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන්නක්. එමගින් අඩු ආදායම්ලාභීන් වින්දිතයන් බවට පත් කරයි. වීදි ලාම්පු සඳහා පාරිභෝගිකයන් ගෙන් ගාස්තු අය කිරීමේ යෝජනා සහ එක් ඒකකයක් සඳහා රුපියල් 67ක ගාස්තුවක් අය කරන කාල භාවිත ක්‍රමවේදයක් පැනවීමේ උත්සාහ පැහැදිලිව ම අසාධාරණ ය.
ජනතාව වීදි ලාම්පු සඳහා නොගෙව්වොත්...?
ජනතාව වීදි ලාම්පු සඳහා ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් එමගින් නීතිය හා සාමය පවත්වා ගැනීමට අහිතකර බලපෑමක් ඇති කරනු ඇත. දිවා කාලයේදී පාරිභෝගිකයා විසින් භාවිතා කරනු ලබන ඒකක මත පදනම්ව සූර්ය විදුලි ජනනයන් සඳහා ගාස්තු ගෙවීම් යනාදි යෝජනා මහජන අදහස් විමසීමකට භාජනය කළ යුතු ය. රජය විදුලි ගාස්තු 33%කින් අඩු කරන බවට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ක්‍රියාවට නංවනු විනා 11.57%කින් ගාස්තු ඉහළ නැංවීම සිදු නොකළ යුතු අතර අවශ්‍ය උපරිම ප්‍රමාණයට පුනර්ජනනීය බලශක්ති අංශයට සහාය ලබාදිය යුතු ය. බොරුව, අසත්‍ය සහ වංචාව නතර කිරීමට දැන් කාලය යි.''


