Trident Chemphar සමාගමට ගල්අඟුරු ටෙන්ඩරය ලබා දීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා - පුබුදු ජයගොඩ

Trident Chemphar සමාගමට ගල්අඟුරු ටෙන්ඩරය ලබා දීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා - පුබුදු ජයගොඩ

ගල්අඟුරු මිලදීගැනිමේ දී එතෙක් පැවති ටෙන්ටර් පටිපාටි වෙනස් කර Trident Chemphar සමාගමට එම ටෙන්ඩරය ලබා දුන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ද යන්න සැක සහිත යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (10) මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...

''විදුලි ජනනය සඳහා ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මක ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් උද්ගත වී තිබෙනවා. අපි මේ ගැන මුලින් ම හෙළිදරව් කළේ ගල් අඟුරු ටෙන්ඩරය 2025 සැප්තැම්බර් 15වෙනි දා ලබාදීමෙන් අනතුරුව සැප්තැම්බර් 28 වැනිදා "උත්තරය අපි" නමින් පොළොන්නරුව, බැඳිවැව, සුජා හෝටල් ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේ දී. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ Trident Chemphar නම් සමාගමට හිමි වුණා. නමුත් ඒ ටෙන්ඩරය මේ සමාගමට ම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළා ද කියන සැකය අපි එදා ම මතු කළා. එහි දී කරුණු දෙකක් අප එදා කිව්වා. වෙනදා පෙබරවාරි වනවිට ටෙන්ඩර් කැඳෙව්වත් මෙවර එය ජුලි දක්වා කල් ගියා. ඒ කාලය අතර මේ සමාගම ලියාපදිංචි වුණේ. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචි වීමට ඉඩ දීමට ද කාලය ගත්තේ? දෙවැන්න වෙළඳ අත්දැකීම. මෙතෙක් ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායකවලට අනුව GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු වෙළඳාමක් කළ සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ. නමුත් 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000ක් දක්වා දහයෙන් එකකට වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා 90%කින් අඩු කරලා. මේක පැහැදිලිව සැක සහිතයි.

හිමිකරුට සහ දේශීය නියෝජිතයාට ද දූෂණ චෝදනා

අනෙක අපි මේ සමාගමේ විශ්වසනීය බවත් ප්‍රශ්න කළා. මේ Trident Chemphar සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේ දී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, Trident Chemphar සමාගමේ හිමිකරුවකු වන සරත් චන්ද්‍ර රෙඩ්ඩිව 2022 දී නවදිල්ලියේ සුරා බදු වංචාවක් හරහා මුදල් විශුද්ධකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. හිමිකරුවාට අමතරව Trident Chemphar හි දේශීය නියෝජිතයා වන සරත් බණ්ඩාර ජයසුන්දරටත් දූෂණ චෝදනා තිබෙනවා. ක්‍රිකට් කුසලතා විශ්ලේෂකයකු ලෙස වෘත්තියේ නිරතවූ ඔහුට තරග පාවදීමේ චෝදනා මත 2019 සිට වසර 7ක තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවා ඇති බවට ප්‍රවෘත්ති තිබෙනවා. පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා.

කෝටි 750ක පමණ අමතර වියදමක්

ඒ අතර මේ ගෙන්වා තිබෙන ගල් අඟුරු වල ප්‍රමිතිය ටෙන්ඩරයේ ගිවිසුම්ගතවූ GCV 5900 kCal/kg ප්‍රමිතියට වඩා බාල බව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලිබල අමාත්‍යංශ රසායනාගාර වාර්තාවෙන් තහවුරු වෙනවා. ඒවා තිබෙන්නේ 5600-5800 kCal/kg සීමාවේ. ගල් අඟුරු කිලෝග්‍රෑමයකින් ජනනය වන ශක්තිය අඩු වෙනවා කියන්නේ අපට අවශ්‍ය නිශ්චිත විදුලි ප්‍රමාණය නිපදවා ගන්න වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ ආකාරයට බාල ගල් අඟුරු ගෙන්වීම නිසා අපට අපේක්ෂිත ප්‍රමාණයට වඩා රුපියල් කෝටි 750-760 තරම් අමතර මුදලක් වටිනා ගල් අඟුරු මිලදී ගන්න වෙනවා. මේ නිසා අපට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 750ක් පමණ කියලා හිතමු. ආණ්ඩුව දිට්වා කුණාටුවේ හානිපූරණ වියදම සහ ලංවිම මස් කරද්දී සේවකයන්ට වන්දි දෙන වියදම විදුලි ගාස්තුවට ඇතුළු කරන ලෙස මේ වංචාවේ බරත් ජනතාව මත පටවන්න ඉඩ තිබෙනවා. ජනාධිපතිවරයාට අපි බල කරනවා වහාම මේ ගල් අඟුරු ටෙන්ඩරය ගැන අපක්ෂපාතී හා පාරදෘශ්‍ය විමර්ශනයක් කර වගකිවයුත්තන්ට දඬුවම් දෙන්න කියලා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වංචාවල බර විදුලි ගාස්තු හරහා ජනතාව මත පැටවීමට ඉඩ දෙන්න එපා කියලා.''

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න