මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරනවා නම් ඒවා වෙනස් කළ යුත්තේ අපේකම රැකගෙන සභ්‍යත්වය සංස්කෘතිය රැකගෙන වුව ද මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගරගේ පිළිරුව අභියස දී ‘නිදහස් අධ්‍යාපනය රැකගමු’ යනු තේමාව පෙරදැරි කර ගෙන විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට අසභ්‍යත්වය ඇතුළත් කිරිම සම්බන්ධයෙන් දැනුවත් කරන ජන හමුව හා එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අධ්‍යාපන ක්ෂේත්‍රය අලුත් වි නවීකරණය විය යුතු යි

''අප රටේ සාක්ෂරතාව සහ ආර්ථිකය වර්ධනය වූයේ, මාතෘ මරණ සහ ළමා මරණ අනුපාත අඩු වූයේ පුරවැසියන්ගේ ආයු භාවය වැඩි වූයේ මේ දියුණු අංශයන් සියල්ලම ඉදිරියට ගියේ අප රටේ නිදහස් අධ්‍යාපනය නිසා. එදා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරට නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන සංකල්පය ගෙන ඒමට විශාල අරගලයක් කිරීමට සිදු වුණා. මෙරට ප්‍රභූ පැළැන්තිය පවුල් බලය සහිත කණ්ඩායම් ධනපතියන් එදා කියා සිටියේ ඒ අයගේ වතුවල පොල් කඩන මිනිසුන් නිදහස් අධ්‍යාපනය නිසා නැති වෙයි කියලා. ප්‍රභූ පැළැන්තිය ධනපති පැළැන්තිය ඒ ආකාරයෙන් නිදහස් අධ්‍යාපනට විරුද්ධ වන විට පවා මේ බාධා නොසලකා නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කළා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර ආරක්ෂා කර රැක ගන්නාවා සේම අපේකම, ගමේකම, නගරයේකම, ඉතිහාසය, සභ්‍යත්වය රැකගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය අලුත් වි නවීකරණය විය යුතු යි. ඇති හැකි අයගේ දුවා දරුවා පමණක් smart board, Tab, Computer භාවිත නොකර සමස්ත නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයක් දරු පරපුරටම ඒ අයිතිය තිබිය යුතු යි. අපේකම රැකගෙන සභ්‍යත්වය සංස්කෘතිය රැකගෙන මේ ප්‍රතිසංස්කරණය සිදුවිය යුතු වුවත් මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නැහැ.

සංස්කෘතිය අගය කරන සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කළ යුතුයි

අධ්‍යාපනය අලුත් වෙනවා යනු අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළත් කිරීම නෙවෙයි. මේ වන විට ලෝකයෙන් ගත යුතු දේ මෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු දේ ද තිබෙනවා. ලෝකයේ අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම්වලින් පාඩම් ඉගෙන ගෙන මාර්ගගත අධ්‍යාපනය තුළ අසභ්‍යත්වය වළක්වා ගැනීමට දමා ඇති බාධක තවදුරටත් ශක්තිමත් කර අප යොදා ගත යුතු යි. මේ අධ්‍යාපනයේ අසභ්‍යත්වයට විරුද්ධව ජනතාව අද පෙළ ගැසී සිටිනවා. ලබන සතියේ මැද වන විට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ ජාතික එකමුතුව දියත් කර, මෙරට සිදුවිය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කර, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඔ්නෑම නිපුණතාවකට මුහුණ දිය හැකි, සංස්කෘතිය අගය කරන සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කිරිමට නායකත්වය ලබා දෙනවා.

අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතුයි

රටක් ලෙස ඉදිරියට යාමට නම් සුහුරු රටක් නිර්මාණය විය යුතු යි. එය පෙරපාසල, පාසල හරහා සුහුරු සිසුවා සුහුරු තාරුණ්‍යය ගොඩනගා සුහුරු රටක් ගොඩනැගිය හැකි යි. මේ තුළින් අපේ රට සභ්‍යත්වය අපේකමට අනුකූලව ක්‍රියාත්මක වන ශිෂ්ටසම්පන්න රාමුවක් තුළ නිදහස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතු යි. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සේම අධ්‍යාපනය ද මූලික හා මානව අයිතිවාසිකමක් විය යුතු යි. ඊට අමතරව නිදහස් සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකමක් විය යුතු යි.

එදා අපි white paper, green paper ගැන කියන විට මේ රජය හිනා වුණා

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය වන විට, වෙට්ස්මිනිස්ටර් ක්‍රමය තුළ white paper, green paper ගැන විපක්ෂය යෝජනා කරන විට එයට උද්දච්ච විහිළු කර අපහාස කිරීමට රජයේ මැති ඇමතිවරු කටයුතු කළා. රටේ තියෙන්නෙ මේ ප්‍රතිසංස්කරණය ගැන කිසිදු අංශුමාත්‍රයක වැදගත්කමක් නොමැතිව power point presentation එකකට පමණක් මෙය සීමා කළ වැඩබැරි ආණ්ඩුවක්. මේ නිසා අධ්‍යාපනය ද කඩා වැටිලා. මේ රට ඉදිරියට යාමට නම් STEAM අධ්‍යාපනයට මූලික තැන ලබා දිය යුතු යි. මේ දේ කරනවා සේම ඉතිහාසය විෂය ද අනිවාර්ය විෂයක් විය යුතු යි.

ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් අතර පරතරයක් නොතිබිය යුතු යි

මේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ අය ගේ පෞද්ගලික ජීවිතය ඒ අය ගේ ජීවිතයට සීමා විය යුතු යි. ඒවා රටේ ජාතික ප්‍රතිපත්තිය නොවිය යුතු යි. පුද්ගලයකු ගේ නිදහස සහ කැමැත්ත රටේ අනික් මිනිසුන් ගේ කැමැත්ත ලෙස බලහත්කාරයෙන් පැවරිය නොහැකි යි. එය ගමේකම අපේ කම රටේ කම නොවන නිසා ගමේකම අපේකම රටේකම දිනවන වැඩපිළිවෙළකට යා යුතු යි. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයට යුක්තිය සාධාරණය ඉටු වීමට නම් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් අතර ඇති පරතරය නැති විය යුතු යි. මෙය රැකියා වෙළෙඳපොළට පවා බලපාන කරුණක් නිසා සියලුම පාසල් දූදරුවන්ට චතුර ලෙස ඉංග්‍රීසි භාෂා ඇතුළු අනෙකුත් භාෂා හැසිරවීමට හැකියාව තිබිය යුතු යි. දුපත් මානසිකත්වයෙන් කොටුපවුරු බැඳ අපි තමයි හොඳ ම කියා සිටිනවා වෙනුවට ලෝකයේ සෙසු රටවල් 193ට වැඩි ප්‍රමාණයත් සමග තරග කිරිමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න