ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුව ද බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) කොබෙයිගනේ, විතිකුලිය ප්‍රදේශයේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ සහ වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ 'Rebuilding Sri Lanka' යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක PROJECT 5M වැඩසටහන යටතේ නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර, කොටවෙහෙර, පන්නල, බිංගිරිය, මහව, වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා තත්ත්වයෙන් පූර්ණ නිවාස හානි සිදු වූ, නැවත එම ස්ථානයේ ම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ආරම්භ කිරීම සහ වන්දි ප්‍රදානය ද මෙහි දී සිදු කෙරිණි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ...
2048වන තුරු ඉන්න වුවමනා නැහැ
''අපේ අරමුණ වන්නේ ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට පෙර පැවති තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් අත්කර දීම යි. ඒ වෙනුවෙන් වූ ශක්තිමත් වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එම ජනතාවට 2048 වන තුරු බලා සිටින ලෙස පැවසීමට අපි කටයුතු කරන්නෙ නැහැ. ආපදාවෙන් පසු යළි නැගීසිටීමට විශාල කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළ ද, මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් රට සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය සමත් වී තිබෙනවා. එහි දී වෙහෙස නොබලා ධෛර්යයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලුදෙනා වෙත අපි අපේ ප්‍රණාමය පුද කරනවා...! එමෙන්ම, ඉදිරියේදී ඕනෑම ව්‍යසනයකට මුහුණ දිය හැකි අන්දමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් එක්ව වැඩකරමු.''
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය


