කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනයේ නව සභාපති ලෙස මහාචාර්ය නාමල් විජයසිංහ පත් කරයි

කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනයේ නව සභාපති ලෙස මහාචාර්ය නාමල් විජයසිංහ පත් කරයි

2026 වසර සඳහා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ  තේරී පත්වී තිබේ.

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් ගේ විද්‍යායතනය යනු

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් ගේ විද්‍යායතනය: මෙරට කායික වෛද්‍ය විද්‍යාව සහ ඒ සමග බැඳුණු හෘද රෝග විද්‍යාව, අන්තරාසර්ග විද්‍යාව, ආමාශ ආන්ත්‍රික විද්‍යාව, වෘක්කවේදය, සන්ධි රෝග සහ පුනරුත්ථාපන වෛද්‍ය විද්‍යාව, ස්නායු රෝග විද්‍යාව, ශ්වසන රෝග විද්‍යාව මෙන්ම දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාව යනාදි ක්ෂේත්‍රයන්හි විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනය යි. වෛද්‍ය දැනුම වර්ධනය කිරීම, පශ්චාත් උපාධි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය සහතික කිරීමේ අරමුණින් 1967 වසරේ දී මෙම ලාභ නොලබන සංවිධානය පිහිටුවා ඇත. ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම හරහා මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා මෙම විද්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරයි. වෛද්‍ය ප්‍රජාව සහ මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විවිධ ක්‍රියාකාරකම්වල නිරත වේ. වෛද්‍යවරුන් ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා වාර්ෂික විද්‍යාත්මක සැසි සහ විවිධ අධ්‍යාපනික වැඩසටහන් මෙහි දී සංවිධානය කෙරේ. එසේම, නිවර්තන කලාපීය රෝග සහ බෝ නොවන රෝග පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා වෛද්‍යවරුන් දිරිමත් කිරීම කෙරෙහි ද මෙම විද්‍යායතනය විශේෂ අවධානයක් යොමු කරයි.

මහාචාර්ය නාමල් විජයසිංහ යනු කවුද...?

2026 වසර සඳහා එහි සභාපතිවරයා ලෙස තේරී පත් වූ මහාචාර්ය නාමල් විජයසිංහ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු එම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වේ. මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඔහු, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනයෙන් පශ්චාත් උපාධි පුහුණුව ලබා MD (Medicine) උපාධිය හිමිකර ගත්තේ ය. නවසීලන්තයේ දී හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් පුහුණුව ලැබූ ඔහු, කැනඩාවේ වැන්කුවර් හි ශාන්ත පාවුළු රෝහලෙන් ශල්‍යකර්මවලින් තොර ස්ටෙන්ට් (stent) ප්‍රතිකර්ම පිළිබඳ හෘද වෛද්‍ය විද්‍යාව පිළිබඳ පුහුණුව ද ලබා ඇත.

මීට අමතරව ඔහු: ලන්ඩන් රාජකීය වෛද්‍යවරුන් ගේ විද්‍යාලයේ සාමාජිකත්වය, එඩින්බරෝ රාජකීය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සාමාජිකත්වය, ලංකා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සාමාජිකත්වය, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ හෘද රෝග පිළිබඳ සංගමයේ සාමාජිකත්වය සහ යුරෝපීය හෘද රෝග විද්‍යාව පිළිබඳ සංගමයේ සාමාජිකත්වය යන අධි සාමාජිකත්වයන්ගෙන් ද පිදුම් ලබා ඇත.

එමෙන්ම හෘද රෝග ක්ෂේත්‍රයේ කෘතහස්ත වෛද්‍යවරයෙකු විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයකු, නිපුන පර්යේෂකයෙකු සේම, වෛද්‍ය අධ්‍යාපනයේ දක්ෂ පරිපාලකයෙකු ද වන මහාචාර්ය නාමල් විජයසිංහ පළපුරුදු සඟරා සංස්කාරකවරයෙක් ද වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න