රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
රෝගීන්ට ලබාදෙන සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට, බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර අංග වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ පිඟානකින් ආහාර පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වේ.
එවැනි ආකාරයට සැකසූ ආහාර වේලක් දුටු සැණින්ම රෝගියාට ආහාර ගැනීමට රුචියක් හා ප්‍රියතාවක් ඇති වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
මේ වන විට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර රෝගීන් 2000කට ආහාර සැකසිය හැකි නවීන පහසුකම්වලින් සපිරි මුළුතැන්ගෙයක් ස්ථාපිත කර ඇති අතර, එයද හෙට දිනයේදී විශේෂ වැඩපිළිවෙළට සමගාමීව විවෘත කෙරේ.
මෙහිදී සාම්ප්‍රදායික “කුස්සිය” හෝ “kitchen” යන නාමය වෙනුවට එය “ආහාරපාන දෙපාර්තමේන්තුව” ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
නවීන ආකාරයට ආහාර සැකසීම හා පිළිගැන්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද සඳහන් වේ.
මහරගම අපේක්ෂා රෝහලේ පාලන අධිකාරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන මෙම විශේෂ වැඩසටහනට රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ලේඩි ජේ ආයතනය, හයිඩ්‍රාමනි ආයතනය සහ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලය එක්ව සහයෝගීතාවය ලබා දෙනු ලබයි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳවකළ විමසීමේ දී මහරගම අපේක්ෂා රෝහලේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී මෙන්ම සම්භන්ධීකාරක වශයෙන් කටයුතුකරන පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍ය සජිත මල්ලවආරච්චි අදහස් දක්වමින් පෝෂණ ගුණයෙන් සපිරි මෙන්ම රෝගීන්ට ප්‍රියමනාප ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වන බවත්, නිසි පෝෂණයෙන් සපිරි ආහාර වේලක් මගින් රෝගීන්ට ඇතිවන සංකූලතා බොහෝමයක් අවමකර ගැනීමට ද හැකියාව ලැබෙන බවත් පැවසීය.
ගෙදරින් ගෙන එන ලද ආහාර වේලට සමාන හෝ ඊට ඉහළින් තැබිය හැකි ප්‍රමාණාත්මක, රසවත් සහ ඊට වැඩි පෝෂණ අතිරේකයකින් සමන්විත ගුණාත්මක ආහාර වේලක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණ වන බවත් ඔහු වැඩිදුරටත් සදහන්කර සිටියේය.
මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අදහස්කර ඇති බවත් ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

