මාලිමා ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගන්න බැවින් විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම යැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සීනිගම පැවති උත්සවයක දී මාධ්‍ය අමතමිනි.
එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
මහජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කලේ නැහැ
''ජාතික ජනබලවේගය පසුගිය වසර පුරා විවිධ ප්‍රවර්ධන සහ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කළත්, එම කාල පරිච්ඡේදය මහජනතාවට විශේෂයෙන් දුෂ්කර උණා. ජාතික ජන බලවේගයේ (NPP) රජය බලයට පත්වීමෙන් පසු දරාගත නොහැකි ලෙස ජනතාව මත බදු පැනවීමෙන් මෙන්ම ස්වාභාවික විපත් වලින් ද ජනතාව දැඩි ලෙස පීඩාවට පත් උණා. ජීවිත බේරා ගත හැකිව තිබූ අවස්ථාවල දී පවා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් උණා. මහජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමට ද අපොහොසත් වී තිබෙනවා.
ආපදාවට පත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළෙත් නැහැ
බොහෝ දෙනෙකුට අලුත් අවුරුද්දට අඩිය තැබීමට සිදුවූයේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සහ තාවකාලික කඳවුරුවල රැඳී සිටිමින් සහ ඔවුන් ගේ ජීවිත සහ ඔවුන්ගේ නිවාස පිළිබඳව අවිනිශ්චිතව සිටිමින්. ආපදාවලින් පීඩාවට පත් වූවන්ට ජනාධිපතිවරයා වන්දි ලබා දෙන බවට පොරොන්දු උනා; එම පොරොන්දු තවමත් ඉටුකරලා නැහැ. ආණ්ඩුව වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය දිය යුතු යි, අවතැන් වූ පවුල් ඔවුන් ගේ නිවෙස්වල නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගත යුතු යි. විපක්ෂයේ පක්ෂ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි රජය අවධානය යොමු නොකරන නමුත්, ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස, අපි අපගේ වගකීම් දිගටම ඉටු කරනවා.''

