මාලිමා ආණ්ඩුවෙන් පස්සෙ  එක ඩොලරයක් හෝ සෘජු විදේශ ආයෝජන පැමිණ නැහැ - එස්.එම්.මරික්කාර්

මාලිමා ආණ්ඩුවෙන් පස්සෙ  එක ඩොලරයක් හෝ සෘජු විදේශ ආයෝජන පැමිණ නැහැ - එස්.එම්.මරික්කාර්

වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ වන තෙක් එක ඩොලරයක් හෝ සෘජු විදේශ ආයෝජන පැමිණ නැති බවත්, ඉදිරි වසරේ දී ද ඒවැන්නක් දැකිය හැකි තත්ත්වයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය අද (31) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්.එම්.මරික්කාර්...

මෙගා ටෙලියක් අවසන්

''අදින් අවසන් වෙන අවුරුද්ද මෙගා ටෙලි නාට්‍යයක් බලපු අවුරුද්දක් ඉවර වෙනවා වගේ තමයි ඉවර වෙන්නේ. පච අහපු, පච කෙලපු ,හීන ලෝකවලට ගෙනිච්ච, බොරු කියපු අන්දපු අවුරුද්දක් ඉවර වෙන්නේ. හැබැයි හෙටින් එළඹෙන අවුරුද්ද අපේ රටට ඉතාම අභියෝගාත්මකයි. මොකද හේතුව , මේ වන විට රුපියල අවප්‍රමාණ වීම නිසා විදේශ ණය බර ප්‍රමාණය රුපියල් බිලියන 703කින් වැඩිවෙලා තිබෙනවා. මේ ආපදා තත්ත්වය තුළ සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂිත ආදායම ලබා ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා එළඹෙන පළවෙනි කර්තුවෙත් දෙවැනි කාර්තුව ඇතුළෙත්. ඊළඟට කෘෂිකර්මාන්තයට වෙච්ච හානියත් එක්ක ආනයන අපනයන පරතරය ඉදිරි කාලයේ දී ඉහළ යන්නට නියමිතව තිබෙනවා. ඒ වගේම වර්තමාන රජය බලයට පත්වුණායින් පස්සේ, මේ වෙනකන් එක ඩොලරයක්වත් සෘජු විදේශ ආයෝජන ඇවිල්ලා නැහැ. ඉදිරි අවුරුද්දේත් එන බවක් පෙනෙන්නට නැහැ.

2026 වසරේ අභියෝග

ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අමතරව අරන් තියෙන සියලු විදේශ ණය සහ දේශීය ණයවල වාරික ගෙවන්න තිබෙනවා. ස්වෛරීත්ව බැඳුම්කරවලින් අරන් තිබෙන ඇමරිකන් ඩොලර් බිලියන 15කට ආසන්න ප්‍රමාණයකට විතරයි ණය වාරික ගෙවන්න ඕනේ නැත්තෙ. ඒ නිසා අභියෝග ගණනාවක් අප හමුවේ තිබෙන අවුරුද්දක්. ඒ නිසා මේ රටට ආර්ථික ප්‍රතිසංස්කරණ වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන අවුරුද්දක් තමයි එළඹෙන්නේ. මේ රට කඩන් නොවැටෙන්න නම් , මේ රට ස්ථාවරව පවත්වාගෙන යන්න,  ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ලබා දෙමින්, අනිත් පැත්තෙන් ආදායම් මාර්ග වැඩි කරනවා වගේම, මේ ආපදා තත්ත්වය හරහා අපේ රටේ යටිතල පහසුකම්වලට වෙලා තියෙන හානිය රුපියල් බිලියන නමසීයකට අධික ප්‍රමාණයක් තියෙනවා, ඒවා යථා තත්ත්වයට පත්කිරීමේ අභියෝගය අපිට තියෙනවා. ඒ වගේම මේකෙන් වැටුණු ජනතාවගේ ආදායම් මාර්ග නැවත යථා තත්ත්වයට පත් කරන්න, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණනාවක් කඩන් වැටිලා තියෙනවා, ඒක යථා තත්ත්වයට පත් කරන්න ඕන. ඒ වගේම දරිද්‍රතාවය, බඩගින්නේ ඉන්න මිනිස්සුන් ගේ ප්‍රමාණය වැඩි වීගෙන යනවා. නැවත ඒ මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන තැනට පත් කරන්න ඕන කියන විශාල අභියෝග ගණනාවක් තියෙනවා.

අපි එකතු වෙන්නෙ ඇයි...?

මම මේ තේරෙන භාෂාවෙන් කිව්වේ. මේක ඇතුළෙ තව විශාල ගැටලුවක් තියෙනවා.  උදාහරණයක් විදිහට අවුරුදු පහක් වාහන ආනයනය තහනම් කෙරුවායින් පස්සේ මේ අවුරුද්දේ වාහන ආනයනය ආරම්භ කළහම, වාහන 220,000 අධික ප්‍රමාණයක් ඇවිල්ලා රුපියල් ආදායම බිලියන 600 කට වැඩි ප්‍රමාණයක්, ඇවිල්ලා තියෙනවා. එන අවුරුද්දේ ඒ ආදායම ඒ ආකාරයෙන් ම අනිවාර්යෙන් ම එන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව කල්පනා කරන්න ඕන volume business  එකට යනව ද, Margin business  එකට යනව ද කියලා. මේ අවුරුද්දේ  volume and margin දෙකම ආවා. එන  අවුරුද්දේ බදු අඩු කරලා වාහන වැඩිපුර ආනයනය කිරීමට encourage  කරලා රාජ්‍ය බදු ආදායම වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරනවාද කියන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ විපක්ෂයක් විදිහට, මේ රට කඩන්න වැටෙන්න ඕන. ඒ නිසා ඒ ආර්ථික අර්බුදවලින් බලයට ඒමේ කාලකන්නි ආසාවක් සමගි ජන බලවේගයට නැහැ. ආර්ථික අර්බුදවලින් රට කඩන් වට්ටලා ඒ හරහා දේශපාලනය කිරීමේ කාලකන්නි ආසාවක් අපිට නැහැ. ඒ නිසා මේ විදේශ ආයෝජන ගේන්න බැරි,ඩොලර් ආදායම් හොයන්න බැරි, ජනතාවගේ බඩගින්න නිවන්න බැරි, ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කරන්න බැරි, ඒ වගේම ඒක පුද්ගල ආදායම් වැඩි කරගන්න බැරි, මේ කයිවාරු වාමාංශික ආණ්ඩුවට විරුද්ධව දක්ෂිණාංශික ආර්ථික රාමුවක් ස්ථාපිත කිරීම සඳහා දක්ෂිණාංශික දේශපාලන බලවේග සියල්ල එකතුවීමේ තදබල අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් සාකච්ඡා කරන්නේ.

හෙට අරඹන නව ගමන

දක්ෂිණාංශික බලවේග එකතු වෙනවා කියලා කියන්නේ බලය ලබා ගැනීම උදෙසා සියලු කණ්ඩායම්  එකට එකතු කර ගැනීම නෙමෙයි . ඕන කෙනෙක් එක්ක බලය ලබා ගැනීම සඳහා එකතු වීම නෙවෙයි. ඒ නිසා තමයි මම පෞද්ගලිකවත් අර නුගේගොඩ රැස්වීමට නොයා යුතුයි කියන තදබල මතයක හිටියේ. ඔබතුමන්ලා ගේ මාධ්‍ය හමුවලත් මම කිව්වා. දැන් සුභ පෙර නිමිති පෙනෙන්නට පටන් ගන්නවා. මොකද සමගි ජන බලවේගය කියන්නේ චෝදනා නැති, අදූෂිතයන් ඉන්න කණ්ඩායමක්. ඒ නිසා දකුණු කඳවුරේ ඉන්න දූෂණ චෝදනාවලට ලක් නොවෙච්ච සියලු ම බලවේග ඒකරාශී කරගෙන, මේ හයිය අරගෙන,මේ වාමාංශික අකාර්යක්ෂම කණ්ඩායම රට අකර්මණ්‍ය කිරීම වෙනුවට ඒකට විකල්පයක් විදියට මේ පෙළ ගැහීම  අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම Gen Z පරම්පරාව බලාපොරොත්තු වෙන දියුණු ලෝකයක් නිර්මාණය කරන්න, දියුණු රටක් නිර්මාණය කරන්න,  ඔවුන්ට අනෙක්  රටවල්වල තිබෙන  ජීවන මට්ටම කරා ළඟා විය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ඒ දක්ෂිණ කඳවුර එකතු වීම ඉතා අත්‍යවශ්‍යයි. ඒ හරහා ඩොලර් ආදායම් උපයන්න පුළුවන්. ලෝකයාගේ අවධානය ගන්න පුළුවන්.  ආධාර උපකාර ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කිරීමේ තදබල අවශ්‍යතාවයක් එළඹෙන අවුරුද්ද තුළ තිබෙනවා ඒ නිසා  සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය ඒ සඳහා මූලිකත්වය අරගනිමින්, ඒ සුභ පෙර නිමිති ඔබතුමන්ලා ඊයේ දකින්න ඇති,  ඒක දිරවන් නැති කණ්ඩායමකුත් ඇති. ප්‍රශ්නයක් නෑ. හැමෝම හැමදේම පිළිගන්නෙත් නැහැ. ඉතින් ඒ ගමන් මාර්ගය හෙටින් ආරම්භ කරන බවත් ඔබතුමන්ලාට ප්‍රකාශ කරන්න ඕන.''

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න