ව්‍යවස්ථා සභාව රැක ගැනීම විපක්ෂ නායකවරයා ගේ අතේ - උදය ගම්මන්පිල

ව්‍යවස්ථා සභාව රැක ගැනීම විපක්ෂ නායකවරයා ගේ අතේ - උදය ගම්මන්පිල

ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනා ගේ සේවාව තව දුරටත් ලබා ගැනීමට නම් විපක්ෂ නායක කළ යුත්තේ අගමැතිනිය ගේ යෝජනාවලට එකඟතාවය පළ නොකර සිටීම යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ එම පක්ෂය අද (31) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල...

දූෂිත කුමන්ත්‍රණය පරාජය කරන්න පුළුවන් විපක්ෂ නායකට විතරයි

''ජනාධිපතිතුමා විගණකාධිපතිවරයෙකු පත් කරන්නේ නැතිව ජනවාරි මාසය වන තුරු කල් මරන්නේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනා ගේ ධුර කාලය අවසන් වුණාට පස්සේ තමන්ගේ භෞචයියන් ඒ තනතුරු වලට දාගෙන තමන්ගේ චක් ගෝලයෙක් විගණකාධිපති කරන්නැයි කියන පණිවිඩය 2025 ජූලි 14 දිනත් දෙසැම්බර් 29 දිනත් අපි මාධ්‍ය හමු පවත්වලා රටට කිව්වා. අද අපි මාධ්‍ය හමුව කැඳෙව්වේ ජනාධිපතිතුමාගේ ඒ දූෂිත කුමන්ත්‍රණය පරාජය කරන්න විපක්ෂ නායකට හැකියාව තිබෙන බව එතුමාටත් ජාතියටත් පෙන්වා දෙන්නයි.

ඒ කොහොමද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඊ වගන්තිය අනුව ආණ්ඩුක්‍රම සභාවේ සාමාජිකයින්ගේ කාලය ඉකුත් වුණත් නව සාමාජිකයින් ධුර භාර ගන්නා තෙක් සභාවේ සිටින සාමාජිකයින් ධුර දැරිය යුතුයි. දැරිය හැකියි.

නොවේ දැරිය යුතුයි. ඒ කියන්නේ ව්‍යවස්ථා සභාවේ පිටින සාමාජිකයින් කැමති වුණත් අකැමති වුණත් නව සාමාජිකයින් පත් කරන තෙක් ඔවුන් ඒ ධුරවලම සිටිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඉ)(iii) වගන්තිය අනුව ස්වාධීන නියෝජිතයින් තුන්දෙනා පත් කරන්නේ අගමැති සහ විපක්ෂ නායක එකඟතාවයෙන්. පසුගිය වසර තුනේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයත් අදෂිත බවත් රැක ගන්න විශිෂ්ට සේවයක් කළ මේ සාමාජිකයින් තිදෙනාගේ සේවය තව දුරටත් ලබා ගන්නත් මාලිමා භෞචයියන් ව්‍යවස්ථා සභාවට පත් කිරීම වළක්වන්නත් විපක්ෂ නායකතුමා කළ යුත්තේ අගමැතිනියගේ යෝජනාවලට එකඟතාවය පළ නොකර සිටීමයි.

අගමැතිනිය නම් කරන පුද්ගලයා මාලිමාවේ හොංචයියෙක් වුණොත්...?

මේ තිදෙනා අගමැති සහ විපක්ෂ නායක ගේ එකඟතාවයෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් දෙදෙනා ම එකඟ වෙන තුන්දෙනෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. ඒ නිසා අවසානයේ දී සිදුවුණේ ප්‍රසිද්ධ දැන්වීමට අයදුම් කළ අය අතුරෙන් අගමැති එක් අයෙකුත් විපක්ෂ නායක එක් අයෙකුත් නම් කරලා එක් අයෙක් විතරක් දෙදෙනාගේ ම එකඟත්වයෙන් නම් කිරීමයි. ඒ නිසා අගමැතිනිය නම් කරන පුද්ගලයා මාලිමාවේ හොංචයියෙක් වුණොත් ව්‍යවස්ථා සභාවේ බහුතරය ආණ්ඩුවට ලැබිලා ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින්, විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති විගණකාධිපති වගේ වැදගත් තනතුරුවලට මාලිමා හොංචයියන් පත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

එක් අයෙකු විතරක් එකඟතාවයෙන් පත් කරනවා වෙනුවට තිදෙනාම එකඟතාවයෙන් පත් කරන ස්ථාවරයට ගොස් රටම පිළිගත හැකි මාලිමා භෞචයියන් නොවන බව දන්නා චරිත යෝජනා කරන තුරුම විපක්ෂ නායක ගේ එකඟතාවය නොදී හිටියොත් රාජ්‍ය සේවය මාලිමාකරණයටත් ඒ තුලින් තව දුරටත් දුෂිත කිරීමටත් ආණ්ඩුව දරණ වෑයම් පරාජය කළ හැකියි. යෝජනා කරන නම් ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකට ඉතාම හොඳ හේතු ගණනාවක් තිබෙනවා.

ප්‍රසිද්ධ අයදුම්පත් කැඳවීමකට පැකිළෙන්නේ ඇයි?

පළමුව, පසුගිය වතාවේ ස්වාධීන සාමාජිකයින් පත් කළේ ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරලා ඒකට අයදුම් කළ අය අතුරෙන්. මේ පාරත් එහෙම කරමු කියලා යෝජනාවක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වුණා.

ජනවාරි 18වන දායින් දැනට සිටින සාමාජිකයින් තුන්දෙනා ගේ ධුර කාලය අවසන් වුණත් අද වනතුරු අයඳුම්පත් කැඳවීමක් සිදු කරලා නෑ. මාලිමා භෞචයියන් පත් කරන්නේ නැති නම් ඇයි ප්‍රසිද්ධ අයදුම්පත් කැඳවීමකට පැකිළෙන්නේ?

දෙවනුව. වත්මන් සාමාජිකයින් තමන්ගේ ස්වාධීනත්වය ඉහළින් ම ප්‍රදර්ශනය කරලා තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම පෙර සිටි ජනාධිපතිවරයා ගේ ද නිර්දේශ ප්‍රතික්ෂේප කරලා වත්මන් ආණ්ඩුව වගේ ම විපක්ෂයටත් නමින් පක්ෂපාති නොමැති බව පෙන්නුවා. ඒක ම තමයි මේ තිදෙනා ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ජාතියත් අපේක්ෂා කරන්නේ.

විපක්ෂ නායක කළ යුතු දේ

තෙවනුව, තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මාධව තෙන්නකෝන් ගේ නම් වෙනුවට රංග දිසානායක මහතා ගේ නම නිර්දේශ කළේ සභානායකවරයා තමන්ට බොරු කියා නොමඟ යැවූ නිසා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීම හරහා මේ තුන්දෙනා භීෂණය ඉදිරියේ බියෙන් සැලෙන්නේ නෑ කියන එක පෙන්නුවා. අද බොහෝ දෙනෙක් ආණ්ඩුවේ ත්‍රස්තවාදී අතීතයට බයෙන් මර්දනයේ වර්තමානයට බියෙන් ආණ්ඩුවේ වැරදි සෘජුව පෙන්වා දෙන්නේ නෑ. එවැනි පසුබිමක තමන් එහෙම බය නෑ කියලා ඔප්පු කරපු තිදෙනෙකුගේ සේවය තට දුරටත් ලබා ගැනීමේ කිසිම වරදක් නෑ.

ඉහත තත්වය යටතේ අපි විපක්ෂ නායකතුමාට යෝජනා කරන්නේ රටටත් තමන්ටත් නිර්පාක්ෂිකයි නිර්භයයි කියා පිළිගත හැකි චරිත තුනක නම් අගමැතිවරිය යෝජනා කරන තෙක් යෝජනා කරන නම් ප්‍රතික්ෂේප කරලා රාජ්‍ය සේවයේ අපක්ෂපාතිත්වය රැක ගන්නා ලෙසයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න