බොරු තොරතුරු ඇතුළත් හිසකෙස් ආලේපන විකිණු සමාගම් දෙකකට දඩ

බොරු තොරතුරු ඇතුළත් හිසකෙස් ආලේපන විකිණු සමාගම් දෙකකට දඩ

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබෙන බවට ව්‍යාජ ලෙස ලේබලයේ සඳහන් කර හිසකෙස් ආලේපන වර්ගයක් (Hair Miracle) මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් හතළිස් දහසක (40,000) දඩ මුදලක් නියම කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට මෙම හිසකෙස් ආලේපන වර්ගය අලෙවි කරමින් පැවැති අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂණයක් පවත්වන ලදි.

එම පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ මෙම හිසකෙස් ආලේපන වර්ගය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබාගෙන නොමැති නමුත් එහි අනුමැතිය ඇති බව ලේබලයේ සඳහන් කර තිබෙන බවයි.

එමෙන්ම අදාළ ආලේපන නිෂ්පාදකයාගේ ලිපිනය හෝ දුරකථන අංකය ඇසුරුම්වල සඳහන් කර නොතිබූ බවද පරීක්ෂණවලදී තහවුරුවී ඇත.

මෙම කරුණු හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අදාළ නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කළ කොළඹ 08, කාසල් වීදියේ පිහිටි සමාගමට සහ ආලේපනය නිෂ්පාදනය කළ වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පිහිටි සමාගමට විරුද්ධව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

ඒ අනුව අදාළ සමාගම් දෙක විසින් අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන ඇති අතර එම සමාගම් දෙකට අධිකරණය විසින් රුපියල් හතළිස්දහසක (40,000) දඩ මුදලක් නියමකර ඇත.

‘ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා ඇත’ යන අසත්‍ය වගන්තිය ආලේපනයේ ලේබලයෙන් ඉවත් කර ලබන වසරේ (2026) ජනවාරි මස 20 වැනිදා නැවත අධිකරණයට වාර්තා කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට භාණ්ඩ ඇණවුම් කරන විට අදාළ ලේබලයේ විස්තර, අනුමැතිය සඳහන් කිරීමේ සත්‍යතාව, නිෂ්පාදකයාගේ සම්පූර්ණ තොරතුරු යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

(aruna | සාලිය කුමාර ගුණසේකර)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න