කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් රජය සතු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“පැලවත්තේ නඩත්තු කරන, හෙට සිට වැඩට ඒමට නියමිත ඩෝබිලා” ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය කණ්ඩායම් පිළිබඳව සමාජය දක්වන අදහස කුමක්ද යනුවෙන් වැඩසටහන් පූර්වකයා විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය කෙරෙහි ඇති ආදරය සහ රජයේ මතය නිවැරදි යැයි විශ්වාස කරන විශාල පිරිසක් සමාජ මාධ්‍ය තුළ ස්වේච්ඡාවෙන් පෙනී සිටින බවයි.
ඔවුන් ඕනෑම මතවාදී අරගලයකදී රජය වෙනුවෙන් පෙනී සිටින බව නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
අමාත්‍යවරයා පවසන්නේ, මීට පෙර එවැනි වැටුප් ලබන කණ්ඩායම් සිටින්නට ඇති බවත්, වත්මන් රජයට එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි.
වත්මන් රජය බලයට පත් වූයේත්, එම බලය පවත්වාගෙන යන්නේත් වැටුප් ගෙවන කණ්ඩායම් හරහා නොව, රජය සහ ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තැබූ බාහිරව සිටින ස්වේච්ඡා සහයෝගය දක්වන ජනතාවගේ ශක්තියෙන් බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා,
” එහෙම කිසිම කණ්ඩායමක් නැහැ. මං ඉතාම වගකීමෙන් කියන්නේ එහෙම පඩි ගෙවලා, කෙනෙකුට විරුද්ධව කමෙන්ට්ස් දාන එහෙම මුකුත් නැහැ. එහෙම ඒවා කලින් තියෙන්න ඇති. අපිව විශ්වාස කරලා අපි වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායමක් ඉන්නවා සමාජ මාධ්‍යවල. ඉතින් ඒ අය වෙනදා වගේම ස්විච්චාවෙන් අපිට තියෙන ආදරේට නැත්නම් මේ මේ මතය නිවැරදියි කියන මතය විශ්වාස කරලා සමාජමාධ්‍යවල හැප්පෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම තැනක වැටුප් ගෙවලා එහෙම කරන කණ්ඩායමක් නැහැ. මම කියන්නේ අර එහෙම ඒ කියන්නෙම මීට කලින් අපි දන්නව එහෙම කණ්ඩායම් හිටියා. මොකද අපිට එහෙම වුවමනාවකුත් නැහැ. අනිත් එක ඒ වැටුප් ගෙවලා අරන් යන කණ්ඩායම් වලට වඩා විශාලයි එළියේ අපිට සහයෝගය දෙන කණ්ඩායම්. ඕකනේ අපි බලයට පත් තුනෙත් ඒ විදිහට. මේ බලය පවත්වගන්නෙත් ඒ විදිහට.ඒ නිසා මේ මේ එහෙම කණ්ඩායම කොහෙවත් කොහොමත් සමාජයක ඉන්නවනේ. අපිට පුද්ගලිකව ආදරය කරන අය ඇති. ව්‍යාපාරයට ආදරය කරන අය ඉන්නවා.මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නෑ කියලා ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරන අය ඉන්නවා. ඉතින් ඒ අය මේවත් එක්ක හැප්පෙනවා”
( ෆාතිමා සුමෙයිහා - news19)

