‘ඩිජිටල් EPF මෘදුකාංගය’ හඳුන්වා දෙයි : EPF සේවාවන් අද සිට ඩිජිටල්කරණයට

‘ඩිජිටල් EPF මෘදුකාංගය’ හඳුන්වා දෙයි : EPF සේවාවන් අද සිට ඩිජිටල්කරණයට

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද (දෙසැ. 29) සිට ඩිජිටල්කරණය කෙරෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කම්කරු අමාත්‍යංශයේ පැවති අර්ථසාධක අරමුදලේ සේවාවන් මාර්ගගත ක්‍රමයට ආරම්භ කිරීම සඳහා පැවැති වැඩසටහනට සහභාගී වෙමිනි.

උසස්ම තාක්ෂණය මෙරටට ගෙන ඒමත් එම තාක්ෂණයේ ප්‍රතිලාභ මහජනතාව අතරට ගෙනයාමේ වැඩපිළිවෙල වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශය කටයුතු කරමින් පවතින බවත් එහි පළමු පියවර අද ආරම්භ කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදලේ සේවාවන් රැසක් ඩිජිටල්කරණයට ලක් කරන ‘ඩිජිටල් EPF මෘදුකාංගය’ හඳුන්වා දෙන ලදි.

අර්ථසාධක අරමුදල සඳහා ලියාපදිංචි වීම, ගෙවීම් සිදු කිරීම් මෙතෙක් අමාත්‍යංශයට පැමිණ භෞතිකව සිදු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, එවිට සේවා යෝජකයාට මෙන්ම සේවකයාගේ ද කාලය, ශ්‍රමය නාස්ති වන බව ත් එය සෘජුව ම නිෂ්පාදන ක්‍රියාවලියට බාධා වන බවත් පෙන්වා දුන්නේ ය.

ඉදිරියේදී නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීමට මෙන් ම ප්‍රතිලාභ සාධාරණ ලෙස මිනිසුන්ට බෙදී යාම සම්බන්ධයෙන් මෙම තාක්ෂණය භාවිත කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම නව මෘදුකාංගය හඳුන්වා දීමත් සමග කම්කරු කාර්‍යාලවලට නොපැමිණ සේවායෝජකයන්ට මෙන්ම සේවකයන්ට සේවාවන් රැසක් මාර්ගගතව සිදු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. එම සේවාවන් අතර නව සමාගම් ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය අලුත් කිරීම, සේවකයන්ට විවිධ පෝරම බාර දීම, ඡායාරූප ලබා දීම , බී-කාඩ්පත් ලබා දීම, ආයතනයකින් තවත් ආයතනයකට මාරු වීමේදී සිදු වන ක්‍රියා පටිපාටිය ආදී සේවාවන් රැසක් සේවායෝජකයන්ට සහ සේවකයන්ට සිය කාර්‍යාල තුලදීම අදාළ සේවාවන් මාර්ගගතව ලබා ගැනීමට හැකියාව පවති.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ කම්කරු නියෝජය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ආදී මහත්ම මහත්මීන් සමග ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිතයන් කිහිපදෙනෙකුද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න