රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත්, මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි
ඩබල් කැබ් මුදල් රට ගොඩනැගීමේ අරමුදලට
රටේ වත්මන් තත්ත්වය හමුවේ තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ රට ගොඩනැගීමේ කාර්යය දේශපාලනඥයන් ගෙන් ම ආරම්භ කළ යුතු බැවින් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බව යි. එමෙන්ම, දේශපාලනඥයන් සඳහා ඩබල් කැබ් රථ ගෙන්වීමට වෙන් කරන මුදල් ද මේ මොහොතේ රට ගොඩනැගීමේ අරමුදලට යොමු කළ යුතු බව ඔහු පැවසී ය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රසාද දීමනා අත්හිටුවන්න
රාජ්‍ය ආයතනවල නාස්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීය.
තව ද, ශ්‍රී ලංකන් ගුවන් සේවය බඳු පාඩු ලබන ආයතනවල නිලධාරීන්ට ගෙවන බෝනස් දීමනා වහාම නතර කළ යුතු බවත්, එම මුදල් මේ මොහොතේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් යොමු කිරීම රජයේ වගකීමක් යැයි ද හෙතෙම යෝජනා කළේ ය.
විනිමය ඉතිරි කර ගත හැකි ක්‍රමයක්
ලංකාවේ වත්මන් ඩොලර් සංචිතය පිළිබඳව අදහස් දක්වමින් රවි කරුණානායක පෙන්වා දුන්නේ, සංචිත වැය කරනවාට සාපේක්ෂව ඒවා නැවත පිරවීමේ ක්‍රමවේදයක් නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි. එබැවින් අපනයන තත්ත්වයන් කඩිනමින් ඉහළ නැංවිය යුතු බව ඔහු ගේ අදහස යි. එමෙන්ම තෙල් මත යැපෙන විදුලි උත්පාදනය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම හරහා විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
රට මුහුණ දී ඇති ආපදා තත්ත්වයන්ට සාපේක්ෂව මෙතෙක් ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නොමැති බව මන්ත්‍රීවරයා මෙහි දී අනාවරණය කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හයවෙනි වාරිකය දෙසැම්බර් මාසයේ දී ලබා ගැනීමට තිබූ බව සිහිපත් කළ රවි කරුණානායක, හදිසි ණය ලබා ගැනීමේ ක්‍රමවේදවලට වඩා වාරික ක්‍රමයට සහන ලබා ගැනීම රටට වාසිදායක බව ප්‍රකාශ කළේ ය.
IMF ගියත් කොන්ද කෙළින් තියාගන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී රජය අනුගමනය කළ යුතු පිළිවෙත ගැන ඔහු පැවසුවේ IMF එක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආව ද අපි එතැන දණ නොගැසිය යුතු බවයි. එමෙන් ම IMF ඉදිරියට ගිය ද අපි, අපේ කොන්ද කෙළින් තබාගෙන කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.

