නීතිඥ සුනිල් වටගල, මහින්ද පතිරණ ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලයි

නීතිඥ සුනිල් වටගල, මහින්ද පතිරණ ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලයි

මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

එලෙස නඩු පවරා ඇත්තේ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි. කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහින්ද පතිරණ ගෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පතිරණ: තමාටත්, තම දේශපාලන ව්‍යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදුකර ඇති බවට සුනිල් වටගල  අධිකරණයට කරුණු සැලකර ඇත.

මහින්ද පතිරණ 2025 සැප්තැම්බර් මාසයේ දිනක ප්‍රසිද්ධ කළ ෆේස්බුක් පළකිරීමක් මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගලට කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපාභාගී නිවාසයක් ඇති බවට අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, එම නිවාසය මිලදී ගැනීම සඳහා මුදල් සොයාගත් ආකාරය සැක සහිත බවත්, එය අල්ලසක් විය හැකි බවටත් ආදී වශයෙන් කරුණු දක්වා තිබූ බවත් ඒ සියල්ල මුළුමනින් ම අසත්‍ය හා සාවද්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල තම පැමිණිල්ලෙන් දක්වා ඇත. තව ද මහින්ද පතිරණ සචින් රත්වත්තේ නමැති පුද්ගලයකු ගේ ෆේස්බුක් ගිණුමක් උධෘත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත්, එම ෆෙස්බුක් ගිණුම සත්‍ය එකක් ද නැත්ද යන්න පවා සැක සහිත බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල තම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර ඇත.

මහින්ද පතිරණ ගේ පළකිරීම බොහෝ සේ සමාජ ගතව ඇති බවත්, එයින් තම කීර්ති නාමයට බලවත් අපහාසයක් සිදුව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල එම පැමිණිල්ලෙන් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්තරවාසිය ප්‍රතික්ෂේප කිරීමක් මහින්ද පතිරණ සිදු කර නොමැති බවත් වටගල ගේ පැමිණිල්ලේ සඳහන් කර

ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න