දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වුව ද මීටත් වඩා හානි වි ඇති බැවින් මේ IMF ණය කොන්දේසි ලිහිල් කර ගැනීම වෙනුවෙන් රජයට කොන්දක් තිබිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන් යටතේ අද (24) රු. හෙම්මාතගම ප්‍රාදේශීය රෝහල වෙත ලබා ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ යටතේ Patient Monitor පහක් සහ ECG Monitor යන්ත්‍රයක් පරිත්‍යාග කළේ ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා.
රජයට බැරි නම් විපක්ෂය කරන්නම්
මේ පවතින ණය ගිවිසුම් සාකච්ඡා කළ අවස්ථාවේ IMF එක විදේශ ණය ගෙවීම 2033 සිට සිදු කළ යුතු ව තිබුණත් එය 2028 සිට ගෙවන්න හිටපු රජය තීරණය කළා. එය වත්මන් රජයත් ඒ ආකාරයෙන් පිළිගත්තා. මේ යටතේ වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 4.5ක් ගෙවිය යුතු නිසා මේ ගිවිසුම වෙනස් කළ යුතුය යන මතයේ සමගි ජන බලවේගය සිටිනවා. මේ යටතේ පැටවූ අසීමිත බර ලිහිල් විය යුතු යි. මේ සුළි කුණාටුව නිසා ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වනවා. නමුත් මීටත් වඩා හානි වෙලා තියෙන නිසා මේ ණය කොන්දේසි ලිහිල් කර ගන්න රජයට කොන්දක් තිබිය යුතු යි. ලෝක ආර්ථික විශේෂඥයන් කියන ආකාරයට විදේශ ණය බර අඩු කළ යුතුය යන මත උපයෝගී කර ගෙන නව ගිවිසුමකට යා යුතු යි. මේ මතය නිවැරදි නිසා එය පිළි ගෙන නව ගිවිසුමක් කරා යාමට රජය කටයුතු කළ යුතු යි. රජයට මෙය කළ නොහැකි නම් විපක්ෂය එය සිදු කරන්න සුදානම්.
මේ අවස්ථාවේ ණය ගෙවන එක යථාර්ථවාදී නෑ
ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයන් පවා කියන ආකාරයට අප රටට ආර්ථික ණය සහනයක් ලැබිය යුතු බවට මත පළ කරනවා. මොවුන් ණය කප්පාදුවක් ගැන කතා කළත් මේ කොන්දේසි එක්ක රටට ඉදිරියට ගෙන යන්න බැහැ.ණය ගෙවන්න නම් වේගවත් ආර්ථික වර්ධනයක් ශීඝ්‍ර ආර්ථික දියුණුවක් සෘජු විදේශ ආයෝජන පවා තිබිය යුතු යි. මේ අවස්ථාවේ එය යථාර්ථයක් කළ නොහැකි යි.
ජනතාව ගේ මානසිකත්වය ගැන සිතන්න
මේ අවස්ථාවේ මිනිස් ජීවිත රැකගත යුතු යි. සුළිකුණාටුව අවස්ථාවේ සහ ඉන්පසුව එම භූමිවලින් ජනතාව ඉවත් කළත් දැන් විද්‍යාත්මක හේතුවකින් තොරව නැවත ජනතාව කඳවුරුවල සිට නිවෙස්වලට යොමු කරනවා. මේ අවස්ථාවේ විය යුත්තේ අවතැන් ජනතාව යළි පදිංචි කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම සහ නිවාස ඉඩම් ලබා දීම යි. මෙන්ම ජීවනෝපාය කර ගෙන යාමට අවස්ථාව දිය යුතු යි. දෙනවයි කියන අරමුදල් සහ සහන පවා නොලැබෙන බව ජනතාව පවසනවා. රජයේ වගකීම වන්නේ මේවා හරියට ලබා දීම යි. මේ ජනතාවගේ මානසිකත්වය ගැන පවා සිතිය යුතු යි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමන්න
පාසල් දරුවන් ගේ මානසිකත්වය ගැනත් සිතිය යුතු යි. මොවුන් ගේ මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකළ යුතු යි. පාසල් ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න රජයට නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා දූදරුවන් අසරණ වෙලා. රජයට අවශ්‍ය ආකාරයට ජනවාරි සිට නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම ප්‍රායෝගික නොවන නිසා සංවේදී වී මේ ගැනත් සිතන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. A/C කාමරවල සිට ඉලක්කම් කිව්වට ඒ ඉලක්කම් මහ පොළොවේ යථාර්ථයක් වෙලා නැහැ.
කයිවාරු නවතා ක්‍රමයේ වෙනස හඳුනා ගන්න
රජය මේ අවස්ථාවේ ජනතාව අසරණ වී ඇති ආකාරය අවබෝධ කර ගත යුතු යි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මේ ව්‍යසනය නිසා රැකි රක්ෂා 374000ක් අහිමි වෙලා, වී ගොවිබිම් 23%කට, තේ බිම් 35%කට බලපෑ ඇති නිසා මසකට ඇ. ඩොලර් මිලියන 48ක ආදායම අහිමි වෙලා. කුඩා තේ වතු හිමියන් ගේ පවා තේ ඉඩම් විනාශවූ නිසා රජය කයිවාරුවෙන් තොරව ක්‍රමයේ වෙනස අනුව වැඩ කළ යුතු යි.''

