මාලිමා ආණ්ඩුව දැවැන්ත දේශපාලන පරාජයක් ලබමින්, දේශපාලන පසුබැසීමක පවතින්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (24) මහරගම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...
මාලිමාව විසි කළ බූමරංගය
'' ආණ්ඩුවේ දේශපාලන පසුබැසිම සිදුවුයේ පසුගිය පළාත් පාලන ඡන්දයත් සමග යි. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ජනතාව මාලිමාව ගැන තිබු අසීමිත බලාපොරොත්තු සීඝ්‍ර ලෙස කඩාගෙන වැටුණා. මාලිමාවට ඔවුන් බලාපොරොත්තු වුණු සභිකයින් සංඛ්‍යාව පත් කර ගන්න ලැබුණෙ නෑ. ඒ වගේම සභාවල තනි බලය ලැබුණෙත් නෑ. ඒ නිසා තනි බලය නොලැබුණ සභාවල මාලිමාවේ පාපිසි නායකයින් පළාත් පාලන පනතේ වගන්ති අවභාවිත කරලා විපක්ෂයට බහුතරයක් තිබුණත් ඒ සභාවල බලහත්කාරයෙන් මාලිමා සභා පිහිටුවීම සිදු කළා. ඒකට විශාල රුකුලක් වගේ ම වැරදි පූර්වාදර්ශයක් දුන්නා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා. ඒ නිසා බස්නාහිර පළාතේ විශේෂයෙන් ම කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක ප්‍රාදේශිය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක විපක්ෂයේ මන්ත්‍රිවරුන් විවෘත ඡන්දයක් තියන්න කියද්දි පළාත් පාලන කොමසාරිස්තුමිය කළේ රහස් ඡන්දයන් තබමින් අභිමතය පරිදි නීතිය නවමින් කටයුතු කිරීම යි. නමුත් අද මාලිමාවට එය පාරාවලල්ලක් වෙලා තියෙනවා.
අය වැය පරාජය කරවන්නෙ ජනතාව
රහස් ඡන්ද තියලා පළාත් පාලන ආයතන පිහිටුවු සෑම ආයතනයක ම වාගේ අයවැය පරාද වෙමින් පවතිනවා. මාලිමා ආණ්ඩුවේ දැවැන්තම පරාජය තමා කොළඹ නගර සභාවේ අයවැය පරාජය වීම. මේ කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂයට සුළුතරයක් තියෙද්දි: විපක්ෂයේ බහුතරය විවිධ වරප්‍රසාද වරදාන ලබා දිලා, ස්වාධින මන්ත්‍රිවරුන්ට දැඩි බලාපොරොත්තු ලබා දිලා, අල්ලස් ලබා දීලා තමා මාලිමා ආණ්ඩුව විසින් කොළඹ නගර සභාවේ බලය තහවුරු කළේ.
ඒත් අද මොකද වෙලා තියෙන්නේ. අද ඒ මන්ත්‍රිවරු ස්වාධින තීරණයක් අරගෙන තියෙනවා. රහස් ඡන්දයේ දී මාලිමා ආණ්ඩුවට උදව් කළාට අද ඔවුන් අයවැයේ දී විවෘතව අත උස්සලා කොළඹ නගර සභාව ඇතුළු නගර සභා ප්‍රාදේශිය සභාවල අයවැය දැන් පරාජය වෙමින් යනවා. ඒ නිසා දැන් මේ තුළින් පේන්නේ සමාජ දේශපාලන තත්ත්වය. ජනතාව දැඩි කළකිරීමක ඉන්නේ; ඔවුන්ට දුන්නු එකම පොරොන්දුවක් වත් ඉෂ්ට කළේ නෑ. ජනතාව දැන් තමන් ගේ ප්‍රදේශයේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට කියනවා ගිහිල්ලා ආණ්ඩුවට සහය දෙන්න එපා පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරන්න කියලා. ඒ නිසා තමයි මන්ත්‍රිවරුන් ස්වාධිනව අත උස්සලා ඡන්දය දිලා මේ අයවැය පරාජය කරන්නේ.
පළාත් පාලන අය වැය ලබා දුන් සුබ පණිවුඩය
අපිට ආරංචියි කොළඹ නගර සභාවේ පසුගිය නගර සභාව පිහිටුවන අවස්ථාවේ ඒ සඳහා සම්පුර්ණ සක්‍රිය දායකත්වය දුන්නේ වටගල ශුරින් කියල. නමුත් වටගල ශුරින්ට මේ පාර බේරගන්න බෑ මොකද වටගල ශුරින් දුන් පොරොන්දු ඉටු කර නැති නිසා. මේ පාර මේ වැඩේ අතට ගත්තේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා සමහර මන්ත්‍රිවරුන් කැඳවලා නත්තල් තෑගි දීලා, පිටට තට්ටුවක් දාලා කන්න බොන්න දීලා අපි බලාගන්නම් සහෝදරයා කියලා එතුමා උත්සහා කළා කොහොමහරි කොළඹ නගර සභාවේ අයවැය ජයග්‍රහණය කරන්න. හැබැයි ජනාධීපතිතුමා දන්නේ නෑ එතුමා ගේ බොරුවලට මේ රටේ ජනතාව රැවටුණු කාලය ඉවරයි කියලා. ඒ නිසා තමයි කොළඹ නගර සභාවේ අයවැය පරාජය කරන්න හැකි වුනේ. ඒ නිසා ජනාධිපතිතුමා කියනවා සාගරිකා තියරිය දැන් ඉවරයි. බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධිව පිහිටවපු පළාත් පාලන ආයතනවල අයවැය දිනන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමා කරන්න වෙන්නේ පළාත් පාලන පනත සංශෝධනය කරලා අයවැයේ දී කැමති නම් ඡන්දය රහස් ඡන්දයක් ලෙස පාවිච්චි කළ හැකිය කියලා ඇතුළත් කිරීම පමණ යි. අන්න එහෙම නම් පුළුවන් ඔබතුමාට වරදාන වරප්‍රසාද දෙනවා කියලා අයවැය ගොඩදාගන්න . එහෙම නැති වුනොත් මෙය සම්පුර්ණයෙන් ම බලහත්කාරයෙන් සභා පිහිටවපු තැන්වල අයවැය පරාජය වීම නවත්තන්න බෑ. මේ තමයි "බල සුභ නිමිති පෙරමග සලකුණු " කියන්නේ. මේ රටේ 76 වසරක සාපය අවසන් කරන්න බලයට ආපු මාලිමාවේ කරුමය තව අවුරුද්දක් වෙසක් පෝයක් වැනි කාලයක් තුළ අවසන් වෙනවා යැයි කියන සුබ පණිවිඩය තමා මේ පළාත් පාලන අයවැය පරාජය විම තුලින් අපිට පෙන්නේ.
ලොවෙත් නැති ලෙස නවන නීතිය
නමුත් වසන්ත සමරසිංහ කියනවා අයවැය පරාජය වුනාට කමක් නෑ අපි දෙවන පාරත් අයවැය ගේනවා, ඒ වගේම පනත අනුව අපි කටයුතු කරනවා කියලා. ඒ හින්දා ජනාධිපතිතුමනි සදාචාරාත්මකව ලැජ්ජ විය යුතු යි. අයවැය පරාජය වුණා නම් ඒ සභාපතිවරු, නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕන. විපක්ෂයට බහුතරයක් ඇති තැන්වල ඒ විපක්ෂයේ සභාපතිවරු නගරාධිපතිවරු පත් කරගෙන කටයුතු කරන්න දෙන්න ඕන. දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව ඉන්න සභාවල අද තත්ත්වය ඉතාමත් ශෝකජනකයි. අයවැය පරාජය වුණු මාලිමා ආණ්ඩුවේ පාපිසි හාල් කෑලි අයින් කරලා විපක්ෂයේ සිටින විශ්වාසය දිනා ගන්නා ලද නායකයින්ට සභාවේ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දැක්කා සිස්ටම් වෙනස් කරන්න ආපු මාලිමා පාපිසි 159 දෙනා නීතිය නමනවා ලොවෙත් නැති වෙන්න. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටයි. විපක්ෂයේ අයටයි විතරයි. මාලිමාවේ පාපිසි 159 දෙනාටත් පළාත් පාලන මන්ත්‍රිවරුන්ටත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. තාමත් රන්වල සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. රන්වල බීලා ගිහින් අහිංසක කාන්තාවක් හප්පලා, දරුවන් ගේ ඔළු පළලා,මෙච්චර අපරාධයක් කරලා තියෙද්දි මේ රටේ පොලිසිය හැසිරුණේ හරිම ලැජ්ජ සහගත ලෙස. තම තනතුරේ ගරුත්වය වත් ආරක්ෂා කරගන්න බැරි වුන පොලිස්පති ඉන්න රටක්. තමන් ගේ දෙපාර්තමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගන්න බැරි වුණ පොලිස්පතිවරයෙක්. අපිට ලැබුණු තොරතුරු අනුව දැන ගන්න ලැබිලා තියෙන්නේ පොලිස්පතිතුමා ඉතාමත් පක්ෂග්‍රාහි ලෙස තමා මේ සිදු වීමේ දී කටයුතු කරලා තියන්න කියල.
පිස්සු බල්ලන් බැඳ තබනු
හරිනම් රන්වල රෝහලේ නෙමේ ඉන්න ඕන හිරේ. රන්වල බීමත් ව රිය පැදවීම සිදු කර ඇද්ද යන්න නොබැලුවේ හිතා මතාමයි. ඒ නිසා අපි කියන්න කැමතියි ජනාධිපතිතුමනි මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න. ඒ වගේම ශාන්ත පත්මකුමාරට ගංජා වවන්න හොඳයි .එය පොලිස් කොස්තාපල් වරයෙක් ගිහිල්ලා ඇල්ලුවාම ඔහුට පහර දෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ ඒ පොලිසියේ කොස්තාපල් වරයාට පහර දීලා මරන්න හදලා තියෙද්දි පොලිස්පතිතුමා ඔහුගේ වැඩ තහනම් කරලා. තමන්ගේ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කර ගන්නේ නැතිව එතුමා කරලා තියෙන්නේ මේ පාපසි ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයාව ආරක්ෂා කර ගැනීම. පොලිස්පතිතුමා කොහොමත් රතුපාට යට කලිසමක් අදින බව මුළු රටම දන්නවා. ඒ නිසා කොහොමත් අපි එය දැනගෙන දන්නෑ වගේ ඉන්නම්. නමුත් ඔබතුමා එය පෙන්නන්න එපා. මොකද සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ම නීති පද්ධතිය බිඳ වැටුනොත් මේ රාජ්‍ය වැටෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ පාපිසි 159 දෙනා ම අද දේව ශාපයකට ලක් වෙලා තියෙනවා. එදා දළදා හාමුදුරුවන්ව මැතිවරණය වෙනුවෙන් යොදා ගත්ත මේ මාලිමා ආණ්ඩුව දන්නේ නෑ අද මොනාද කරන්නේ කියලා. අපි ජනාධිපතිතුමා කියන්න කැමති අනේ තව වෙසක් පෝයක් යනතුරුවත් මේ පිස්සු බල්ලෝ මෙන් කටයුතු කරන පිරිස බැඳලා තියන්න. නැතිනම් ලොකු ව්‍යසනයකට මුහුණ දෙන්න වෙනවා.
වහා ම පළාත් සභා ඡන්දය පවත්වන්න
අපි දැක්කා මේ දිට්වා ව්‍යසනය කළමනාකරණය කිරීම කරලා තවම වහපු පාසල් ටික වත් ඇරගන්න බැරිව අගමාත්‍යතුමිය ළත වෙන විදිහ. තාම පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇඳුම් ටික දී ගන්න බැරි වුණා. පොත් ටික දී ගන්න බැරි වුණා. රු 10,000 දෙනවා කිව්වා; එය නිසි පරිදි ක්‍රියාත්මක නෑ. හැබැයි අගමාත්‍යතුමිය යුහුසුලුව කටයුතු කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව. අපි දන්නවා ඔබතුමිය ගේ න්‍යාය පත්‍රයේ අංක 01 ලිංගික අධ්‍යාපනය. අපේ අනාගත පරම්පරාවට ඔය බටහිර සංස්කෘතිය දෙන්න කලින් බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර නාය ගිහින් ඇදි වත පමණක් ඉතුරු වුණු දරුවන්ට අවශ්‍ය ඇදුම් සහ පොත් ටික දෙන්න. ජනාධිපතිතුමා පොරොන්දු වුණ දීමනා ටික දෙන්න. පාසල් ටික ප්‍රතිසංස්කරණය කරන්න. ඒ ඔක්කොම තියෙද්දි එතුමිය උත්සහා කරන්නේ දේදුණු හීනය ඉදිරියට ගේන්න. නමුත් අපි විපක්ෂයේ ඉන්න ක්‍රියාකාරින් විදිහට ඔය දේදුණු හීනය පරාජය කරනවා. ඒ වගේ ම එතුමිය කියනවා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ගේනවලු. ඊට ප්‍රථම ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමියට අපි කියන්න කැමති මේ මාස 14 කරුමෙන් මේ රට බේරා ගන්න පළාත් සභා පනත ගෙනල්ලා පළාත් සභා ඡන්දය තියන්න කියලා.''
එම මාධ්‍ය හමුව සඳහා නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග හා විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම සඳහා සහභාගි වූහ.

