තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්දයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරයි.
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව ඔහු පැවසී ය.
සිස්ටම් එක හොඳට ම චේන්ජ් වෙලා
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසූ නාමල් රාජපක්ෂ තවදුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට පසුබට වන බවයි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බලන විට සිස්ටම් එක හොඳට ම චේන්ජ් වී ඇති බව පෙනෙන්නට ඇතැයි පවසන මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ගංජා වගා කරන්න තැනට පත්ව ඇතැයි පෙන්වා දුන්නේය.
පොලිස්පති මාලිමාවේ ද...?
මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට අයත් ගංජා වගාවක් වැටලු පොලිස් නිලධාරීන් විවිධ තාඩන පීඩනවලට ලක් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ, ගංජා හේන වැටලු එක් නිලධාරියෙක් ස්ථාන මාරුකර අනෙක් නිලධාරියාට මහමග දී පහර දී තිබෙන බව අනාවරණය කළේ ය. හිටපු කතානායක අශෝක රන්වල සිදු කළ රිය අනතුරේදී ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොපවත්වා දේශපාලන බලය යොදවා එය යටගැසීමට උත්සාහ කළ ආණ්ඩුව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට චෝදනා කළේ ය. ගංජා හේන වැටලූ පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අවස්ථාවේ ඒ මන්ත්‍රීවරයා ම පැමිණ පොලිස් නිලධාරියාට පහර දෙන විට පොලිස්පතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව මාලිමාවේ පොලිස්පතිවරයෙක් ලෙස හැසිරෙන බව නාමල් රාජපක්ෂ පවසයි.

