වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ පරිදිම වසර 2024 දී ද අප රටේ ජාතික ආර්ථික දියුණුවට ඉහළම දායකත්වය ලබාදුන් පළාත ලෙස බස්නාහිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව වසර 2024 සමස්ථ ආර්ථික දියුණුවට බස්නාහිර පළාතෙන් ලබාදී ඇති දායකත්වය සියයට 42.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
වසර 2024දී ජාතික ආර්ථික දියුණුවට අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් දෙවෙනි සහ තෙවෙනි ලෙසට දායකත්වය ලබා දී ඇත.
කෙසේ නමුත් වසර 2023ට සාපේක්ෂව අනෙකුත් සෑම පළාතක් ම ජාතික ආර්ථිකත්වයට වසර 2024 දී ලබාදෙන දායකත්වය ඉහළ නංවාගෙන ඇත. එය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙලෙස සඳහන් කරයි.
බස්නාහිර පළාතේ ඉහළ දායකත්වය සේවා සහ කර්මාන්ත අංශ තුළ
වසර 2024 දී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29899කි. එය වසර 2023දී වාර්තා වී තිබෙනුයේ රුපියල් බිලියන 27419කි. ඒ අනුව වසර 2023ට වඩා වසර 2024දී රුපියල් බිලියන 2480කින් දළ දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය විශේෂයෙන් ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. මේ අතර, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්ව අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් ලබා දී ඇත.
මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලින් නාමික දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්ව 2023 ට සාපේක්ෂව 2024 දී ඉහළ ගියේය. ආර්ථික කටයුතු සඳහා පළාත් මගින් දායකත්වය කෘෂිකාර්මික කටයුතු සඳහා වන ඉහළම දායකත්වය මෙම වසරේදී ද වයඹ පළාත (සියයට 20.0) මගින් ලබා දී ඇති අතර, මධ්‍යම (සියයට 13.9) සහ දකුණු (සියයට 11.8) පළාත් පිළිවෙළින් දෙවන සහ තෙවන ඉහළම දායකත්ව ලබා දී ඇත.
2024 වසරේ දී බස්නාහිර පළාත ප්‍රමුඛතාව සියයට 44.5ක්
වසර 2024දී කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛ දායකත්වය තවදුරටත් තහවුරු කළ බස්නාහිර පළාත සමස්තකර්මාන්ත නිමැවුමෙන් සියයට 47.6ක ප්‍රමාණයක් සඳහා දායක විය. එසේම, වයඹ (සියයට 12.0) සහ මධ්‍යම (සියයට 9.6) පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊළඟ ඉහළ ම දායකත්ව වාර්තා කර ඇත.
සේවා අංශයේ ක්‍රියාකාරීත්වය සලකන විට, බස්නාහිර පළාත සිය ප්‍රමුඛතාව 2024 වසරේදී ද පවත්වා ගනිමින් සියයට 44.5ක දායකත්වයක් වාර්තා කර ඇති අතර, මධ්‍යම පළාත සියයට 10.7ක සහ වයඹ පළාත සියයට 10.1ක මීළඟ ඉහළ දායකත්ව පිළිවෙලින් වාර්තා කර ඇතැයි මහ බැංකුව කියයි.
(සටහන | ජේ.මුණසිංහ)


