මඩකලපුවේ මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබී තිබූ අතර ඊට අදාලව ගොනු කරන ලද නඩුව ගරු මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්‍රභාකරන් ඉදිරියේ ඊයේ (17) කැඳවන ලදී.
පසුගියදා (16) නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ද වරෙන්තුවක් නිකුත් කර තිබිණි.
එදිනට නියමිතව තිබූ නඩුවකට අදාළව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ උන්වහන්සේ අතුරුදහන් වී ඇති බවයි. ICCPR පනත යටතේ ඇති චෝදනාවල බරපතළකම සැළකිල්ලට ගෙන, නඩුව (17) මඩකලපුව මහාධිකරණයේදී විභාගයට ගැණිනි.
එහිදී මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් සහිතව උන්වහන්සේ සැඟවී සිටින බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර, විත්තිකරු තවමත් පොලිසියට ප්‍රකාශයක් ලබා දී නොමැති බව සඳහන් කළේය.
කෙසේ වෙතත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නීතිඥ එස්.බී. රත්නායක මහතා සහ කාවින්ද බණ්ඩාර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක්, අධිකරණයට ප්‍රතිවිරුද්ධ තර්කයක ඉදිරිපත් කළහ. වරෙන්තුව හෝ ප්‍රකාශයක් සඳහා වන අවශ්‍යතාවය සම්බන්ධයෙන් තම සේවාදායකයා පොලිසිය විසින් විධිමත් ලෙස දැනුම් දී නොමැති බව ජේෂ්ඨ නීතීඥ අතුකෝරල මහතා පැහැදිලි කළේය. මහාධිකරණ කාරණයක් සඳහා 2026 දෙසැම්බර් 14 වන දින පමණක් උන්වහන්සේට නොතීසි නිකුත් කර ඇති අතර එය ලැබුණු වහාම පෙනී සිටි බවද සඳහන් කළේය.
විත්තිකාර හිමියන් සති කිහිපයකට පෙර මහනුවර තෙල්දෙණියේ සිටි බවත්, උන්වහන්සේ විහාරාධිපති ධුරය දරන විහාරස්ථානයේ නායයෑම් ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ බවත් ජේෂ්ඨ නීතීඥවරයා පැහැදිලි කළේය. චෝදනා එල්ල වූ සිද්ධිය ආසන්න වශයෙන් වසර දෙකකට පෙර සිදු වූ බවත්, එතැන් සිට උන්වහන්සේ එවැනි හැසිරීම්වල යෙදී නැති බවත්, එමෙන්ම මීට පෙර කිසිදු වරදකරුවෙකු නොමැති බවත් අවධාරණය කරන ලදී.
දෙපාර්ශ්වයේම ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් පසු, ගරු විනිසුරු ප්‍රභාකරන් මහතා රු. 100,000/- බැගින් වූ පුද්ගලික ඇප දෙකක්, විදේශ ගමන් තහනමක් ඇතුලු දැඩි කොන්දේසි වලට යටත්ව විත්තිකරු ඇප මත නිදහස් කිරීමට නියෝග කළේය.

