ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනකු මිය යෑමක් පිළිබඳව මාධ්‍ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ සී. වීරසිංහ අදහස් ඉදිරිපත් කළහ.
ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් සියලු ම එන්නත් වර්ගතාවකාලිකව අත්හිටුවයි
එම එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදුවූ යම් දෝෂයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත එම ඖෂධය මෙරට භාවිතයෙන් තාවකාලිව අත්හිටුවීටට මේවන විට පියවර ගෙන ඇති අතර ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් සමාගම නිෂ්පාදනය කරන සියලු ම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව මෙහි දී අනාවරණය කළේ ය.
රෝගීන් දෙදෙනො මිය යෑමට හේතුව මේවන තුරු නිශ්චය කර නැහැ
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි. පුහුණු, පලපුරුදු කාර්ය මණ්ඩලයක් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කරන බවත්, මෙම රෝගීන් දෙදෙනො මිය යෑමට හේතුව මෙම ඖෂධය ද යන්න මේවන තුරු නිශ්චය කර නොමැති බවත්, මේවන විට ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පරීක්ෂණ දෙකක් පවත්වන බව යි.
මෙය සම්පූර්ණයෙන් ම ආනයනික සැපයුමක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය මුල්කරගෙන ජනතාව නොමග යවන පුවත් නිර්මාණය කර ප්‍රචාර සිදුකරන බවය. මීට අඳාළව නිරීක්ෂණ, පරීක්ෂණ සිදුකරමින් සිටින වේලාවක ජාතික පුවත්පතක පවා එම ඖෂධයෙන් රෝගීන් දෙදෙනෙකු මියගියා යැයි නිගමනවලට එළැඹ ප්‍රචාර සිදුකරන්නේ කෙසේ ද යන්න පිළිබදව විමසා බැලිය යුතු බව යි.
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන් ම ආනයනික සැපයුමක් බව ය.
ලබන වර්ෂයේ ඇණවුම වෙනත් සමාගමක් වෙතින්
2021 වර්ෂයේ ලබාදුන් ඇණවුම අඳාළ 2022 වර්ෂයේ ඇණවුම සහ 2025 වර්ෂයට අදාළ 2024 වර්ෂයේ ඇණවුම තුළින් මෙම ඖෂධ ලැබුණු බවත්, මෙම ඖෂධ ඇණවුමට අදාළව ඖෂධ 1450000 (දාහතර ලක්ෂ පනස්දහසක්) මෙරටට ලැබුණු බවත්, ඖෂධ ගැටලුව ඇතිවන අවස්ථාව වනවිට භාවිතයෙන් පසු ඉතිරිව තිබූ ඖෂධ 85000 (අසූපන්දහසක්) තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත් පැවසී ය.
ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ සී. වීරසිංහ අදහස් දක්වමින් පැවසුවේ මෙම ඖෂධය නියමිත මාර්ගෝපදේශවලට සහ අදාළ ප්‍රසම්පාදන ක්‍රමවේදවලට අදාළව මෙරටට රැගෙන ඇවිත් ඇති බවත්, එසේ රැගෙන ආ ඖෂධ තොගයෙන් මේවන විට විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර සේවා සඳහා භාවිතයට ගෙන තිබෙන බවයි. මෙම ඖෂධයට අදාළ ලබන වර්ෂයේ ඇණවුම වෙනත් සමාගමක් වෙතින් ලබා ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ද එක් විය.
(දීප්ති විජේතුංග)

