රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (15) නම් කරනු ලැබිය.
ඒ අනුව එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරජා යන විනිසුරුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලබන ජනවාරි මස 22 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරින.
පාඨලී චම්පික රණවක විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී සිය රියැදුරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් බව පෙත්සම්කාර පාඨලී චම්පික රණවක සිය පෙත්සම මගින් සඳහන් කර තිබේ.
ඒ අනුව එම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කර තිබූ බව ඔහු පෙන්වා දෙයි.
එසේ තිබියදී අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ යළි නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති බව පෙත්සම්කරු සඳහන් කර ඇත.
අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා අදාල චෝදනා පත්‍රය මගින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර පාඨලි චම්පික රණවක පෙන්වා දෙයි.
එකම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු වරද පිළිගෙන තිබියදී එකී සිද්ධියට අදාලවම තමන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා විසින් ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

