අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) පස්වරුවේ නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අද (දෙසැම්බර් 15 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව සැකකාර ධම්මික රණතුංග රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඔහුට අවවාද කළේය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ද්විත්ව පුරවැසියෙකු බැවින් ඔහුගේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කර සිටියේ ය.
2017 - 1018 වර්ෂ සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීම තුළින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් කිරීමේ දුෂණ චෝදනාව මත ධම්මික රණතුංග අද පෙරුවරුවේ අත්අඩංගුවට ගැණුනි.
මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම විසින් අධිකරණයට දන්වනු ලැබිණි.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයා අද දින අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නේ දැයි විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම සඳහන් කළේ සැකකාර අර්ජුන රණතුංග මේ වන විට විදේශගතව සිටින බවත් ඔහු ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
සැකකාර ධම්මික රණතුංග අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය උපාලි අබේරත්න පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.
වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර අධ්‍යක්ෂවරිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේද දෙකක් පවතින බව සඳහන් කළාය.
දිගුකාලීන ටෙන්ඩර් පටිපාටිය සහ කෙටිකාලීන (ස්ථානීය) ටෙන්ඩර් පටිපාටිය එම ක්‍රමවේද දෙක බව ඇය කියා සිටියාය.
රජයට රුපියල් මිලියන 800 ක පාඩුවක්
2017 වසරේ ජුලි මස 27 වන දා දිගුකාලීන ටෙන්ඩර් පදනම යටතේ චයිනා පෙට්‍රෝ සමාගම වෙතින් දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් මගින් ඉන්ධන මිලදී ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර අමාත්‍ය මණ්ඩලයට යැවීමට සූදානම් කර තිබූ බව ඇය සඳහන් කළාය.
එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කළ මෙම සැකකරු එම දිගුකාලීන ටෙන්ඩර් තුන යටතේ ඉන්ධන මිලදී ගැනීම අවදානම් බවත් ඒ අනුව එම ටෙන්ඩර් කැඳවීම අවලංගු කරන ලෙස ප්‍රකාශ කර ඇතැයි සහකාර අධ්‍යක්ෂවරිය කියා සිටියාය.
පසුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මෙම සැකකරු විසින් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයින් මෙම කාරණය සම්බන්ධයෙන් තමන්ට තීරණයක් දිය නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි කී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය එම තීරණයට ප්‍රතිවිරුද්ධ තීරණයක් ලබා දෙන ලෙස මෙම සැකකරු එම කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදු කර තිබෙන බවත් සඳහන් කළාය.
සැකකරුගේ එම ක්‍රියා කලාපය පිළිබඳව අදාළ කමිටුවේ සාමාජිකයින් මේ වනවිට අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබාදී තිබෙන බවත් ඇය පැවසුවාය.
ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින්ද මෙම කෙටි කාලීන මිලදී ගැනීම් නුසුදුසු බව සඳහන් කර ඇති අතර ඒ අනුව දිගු කාලීන ටෙන්ඩර් යටතේ ඉන්ධන මිලදී ගැනීම සුදුසු බවට තීන්දු කළ බවත් ඇය සඳහන් කළාය.
එවක ජනාධිපතිවරයාද දිගුකාලීන ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් සුදුසු බවට මත පළ කර තිබූ බවත් ඇය සඳහන් කර සිටියාය.
ඉන්පසුව දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් චයිනා පෙට්‍රෝ සමාගමට ඉදිරිපත් කළ ද ලංසු කාලය අවසන් වීම නිසා එම සමාගම ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය ඉන් පසුව රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ස්ථානිය ටෙන්ඩර් 27 ක් යටතේ ඉන්ධන මිලදී ගැනිමට සිදුවූ බවත් කියා සිටියා ය.
සැකකරුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් රජයට රුපියල් මිලියන 800 ක පමණ පාඩුවක් සිදුවූ බවත් ඇය සඳහන් කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බැවින් මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය. මෙම සැකකරු සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරුට අල්ලස් කොමිසම විසින් පැන වූ විදේශ ගමන් තහනමට විරුද්ධව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එම පෙත්සම මේ වන විට විභාගයට ගැනීමට අවසර දී තිබෙන බවත් සඳහන් කර සිටියේ ය.
කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෙම ආකාරයෙන් ඒක පාක්ෂිකව විදේශ ගමන් තහනම් පැනවීමට අල්ලස් කොමිසම ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් තම සේවා දායකයා විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඇපමත මුදා හැරීමට නියම කළ අතර මෙම නඩුකරය යළි මාර්තු මස 13 වන දා කැඳවන ලෙසත් නියම කළේය.

