හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සකස් කළ පිටු 200ක පශ්චාත් ආපදා සැලසුම කියවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ආණ්ඩුවට කියා සිටියි.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන එබව කියා සිටියේ, ඊයේ (10) කොළඹ පැවැති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේදීය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ එම ප්‍රශ්න සඳහා වජිර අබේවර්ධන ලබාදුන් පිළිතුරු ය.
රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව භාවිතා කළොත් දින තුනක් ඇතුළත නිවැරදි තොරතුරු ගන්න පුළුවන්
ප්‍රශ්නය:-
ආණ්ඩුව පැත්තෙන් කියනවා “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වුණු පුද්ගලයින්ගේ හෝ දේපඪවල ප්‍රමාණය තාම ගණනය කරලා අවසන් නැහැ කියලා. මෙච්චර කාලයක් යනවද මේ දේවල් ගණනය කරන්න? මේ ගැන ඔබතුමා ගේ මතය කුමක්ද?
පිළිතුර:-
''විශේෂයෙන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සත්ව ජනගහනය බැලුවොත් බිත්තර දාන කිකිළියන් ලක්ෂ 30 ක් පමණ මුහුදට ගසාගෙන ගිහින් තිබෙනවා. සියලු සත්වයන් ලක්ෂ 100 කට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මානව වර්ගයා ගත්තත් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.
අපේ රටේ ග්‍රාම නිළධාරීන් 14,022 ක් ඉන්නවා. සංවර්ධන නිළධාරින් 17,000 ක් පමණ ඉන්නවා, කෘෂි පර්යේෂණ නිලධාරීන් ඉන්නවා, සමෘද්ධි නිලධාරින් ඉන්නවා, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉන්නවා. මේක විශාල යාන්ත්‍රණයක්. මේ යාන්ත්‍රණයට හරිනම් පැය 72 ක දි, ඒ කියන්නේ දවස් 3කදි කියන්න පුළුවන් මිය ගිය සංඛ්‍යාව.
මේකට හොඳම උදාහරණය තමයි, 2004 දෙසැම්බර් මාසේ 26 වෙනිදා ලංකාවට සුනාමිය ආවා, 28, 29 වෙනකොට නිවේදනය කළා 42,000 ක් පමණ මිය ගිහින් කියලා. ඉතින් ඉතාම ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් රට තුළ තිබෙනවා. එය ශක්තිමත්ව භාවිතා කළා ම පැය කිහිපකදී නිවැරදි තොරතුරු සමස්ත ශ්‍රී ලංකාවටත්, මේ තත්ත්වයට මුහුණ දුන් පවුල්වල අයත් දැනුවත් කරන් පුළුවන්කම තිබෙනවා.''
මේ අවස්ථාවෙ සෞඛ්‍ය පද්ධතිය ඉතා වැදගත්
ප්‍රශ්නය:-
ඇයි මේ රජය මේ තොරතුරු තවම දුන්නෙ නැත්තෙ; මිය ගිය සංඛ්‍යාව කීයද කියලා?
පිළිතුර:-
''ඒක ගැන මට මුකුත් කියන්න බැහැ. ඒක රජයෙන් අහන්න ඕන. විශේෂයෙන් මේ රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කළ යුතුව තිබෙනවා, විශාල සතුන් ප්‍රමාණයක් මිය ගිහින් තිබෙනවා, ඒ සතුන්ගේ සිරුරු නිසායාකාරයට භුමිදානය නොකළොත් විශාල වසංගත තත්වයන්ට මුහුණ දෙන්න වෙයි. මේ නිසා මානව වර්ගයාටත් භයානක තත්ත්වවලට මුහුණ දෙන්න සිදුවෙයි. ඒ නිසා සෞඛ්‍ය පද්ධතිය මේ අවස්ථාවෙ ඉතා වැදගත්. ඒ නිසා රාජ්‍ය යන්ත්‍රණයත්, දේශපාලන අධිකාරියත් එකමුතුව එකට කණ්ඩායමක් හැටියට ක්‍රියා කළොත් පමණයි ජීවිත් වන මහජනයට හෝ සහනයක් ලැබෙන්නෙ.''
රනිල් වික්‍රමසිංහ පිටු 200ක ආපදා වැඩ සටහනක් සකස් කර තිබෙනවා
ප්‍රශ්නය:-
ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත්තා මදි ද?
පිළිතුර:-
''දන්නෙ නෑ, ඔවුන් බලයට එන්න කලින් නම් මේ වගේ දේකට පෙර සූදානම් විය යුතු ආකාරය ප්‍රකාශ කර තිබුණා. අන්න ඔවුන් ඒ ප්‍රකාශ කළ පරිදි පෙර සූදානම සිදු වුණාද කියන එක පරික්ෂා කිරීම වැදගත්.''
ප්‍රශ්නය:-
ඉස්සරහට මොනවා වෙයි කියලද ඔබතුමා හිතන්නේ?
පිළිතුර:-
''2023 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති සමයේ මේ ඇතිවෙන තත්ත්වය මුහුණ දීම සඳහා මගේ මතකයේ හැටියට පිටු 200ක ආපදා වැඩසටහනක් සකස් කරලා තිබෙනවා. එහි දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පෙන්වා දී තිබෙනවා. මං හිතනවා ඒක ප්‍රසිද්ධියට පත්කළොත් ඒකෙ තිබෙනවා මේ සෑම කාරණයකට විසඳුම්. 2023 සිට 2030 දක්වා ශ්‍රී ලංකාව කෙසේ ද ආපදාවලින් ගැලවෙන්නෙ, මහජනයා ආරක්ෂා කරන්නෙ කොහොමද ආදී වශයෙන් පිටු 200 ක් තිබෙනවා. ඒක දේශීය විදේශීය සියලු ආයතන සමග ඒකාබද්ධ වී සකස් කළ වැඩසටහනක්.''

