සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි - සජිත් ප්‍රේමදාස

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි - සජිත් ප්‍රේමදාස

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු අතර රාජ්‍ය නිලධාරීන්ගේ සහතිකය පමණත් ප්‍රමාණවත් බවත්, සහන ලබාගැනීම සඳහා සිවිල් පුරවැසියන් ගේ නිර්දේශ ලබා ගැනීම අනවශ්‍ය දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහන යටතේ හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම RO ප්ලාන්ට් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ආපදාවෙන් විපතට පත් ජනතාව ජීවත්වන ප්‍රදේශවල රෝහල්වල අඩුපාඩු සපුරාලීම සඳහා හුස්ම වැඩසටහන මගින් අද දින මාරවිල රෝහලට ද රු. ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog+ Haemodialysis යන්ත්‍රයක් පරිත්‍යාග කළේ ය.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

සහන කටයුතු වෙනත් අරමුණක් සඳහා යොදවනවා ද...?

''මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු යි. වාර්තා වන ආකාරයට මේ සහන ලබා ගන්න ප්‍රජා ශක්ති කමිටුවල අනුමැතිය අවශ්‍ය බවට රජයේ ප්‍රබල ඇමතිවරු කියමින් යනවා. ප්‍රතිලාභ ලැබීමට සහතිකය අවශ්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් පමණයි. ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, කෘෂිකර්ම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, ආපදා නිලධාරීන් යන රාජ්‍ය නිලධාරීන්ගේ සහතිකය පමණත් ප්‍රමාණවත්. සිවිල් පුරවැසියන් සහන ලබා දෙන්න නිර්දේශ ලබා දීම අනවශ්‍ය දෙයක්. රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ප්‍රජා ශක්ති යනාදි සිවිල් කමිටුවල නිලධාරීන්ගේ සහතිකයන් සහන ලබා ගැනීමට අවශ්‍ය වීම යනු මේ සහන කටයුතු වෙනත් පැත්තකට ගෙන යාමක්. මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු යි. පිරිසිදු, වග වෙන, වග කියන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු යි.

දැන් පවතින්නේ 'නිදහස් සෞඛ්‍ය' නෙවෙයි

අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මීට වඩා වැඩි දියුණු කර ඉහළ මට්ටමකට ගෙන ආ යුතු යි. නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාව රජයේ රෝහලට පමණක් සීමා නොකළ යුතු යි. ගිලන් වූ රෝගීන්ට දැන් තුන්ඩුවලට බාහිර ෆාමසිවලින් බෙහෙත් ගන්න සිදු වෙලා තියෙනවා. මෙය 'නොමිලේ සෞඛ්‍ය' නෙවෙයි. අප රටේ ඇති සුබසාධන රාජ්‍ය තුළ ඇති නොමිලේ සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපන සේවාව ඉහළ මට්ටමකට ගෙන ආ යුතු යි.

සෞඛ්‍ය යනු ජනතාව සතු මූලික හා මානව අයිතිවාසිකමක්

පසුගිය සුළි කුණාටු තත්ත්වය නිසා හලාවත රෝහලේ පමණක් රු. මිලියන 600ක උපකරණ විනාශ වෙලා. සීටී ස්කෑනර් යන්ත්‍ර ඇතුළුව වටිනා වෛද්‍ය උපකරණ රැසක් අහිමි වෙලා ඇති මොහොතක මේ කැඩි බිදී ගිය රෝහල් පද්ධතිය ගොඩනගා නිදහස් සෞඛ්‍ය සේවාව උසස් මට්ටමකට ගෙන එන්න කටයුතු කරනවා. සෞඛ්‍ය යනු ජනතාව සතු මූලික හා මානව අයිතිවාසිකමක්. ඒ සෞඛ්‍ය වෙනුවෙන් විපක්ෂය විසින් හැකි උපරිම ආකාරයෙන් උපකාර කරනවා. සෞඛ්‍ය සහ රට ගොඩගන්න කටයුතු කරනවා.

පවතින එකමුතුකම රටේ සංවර්ධනය හැරවිය යුතුයි

අප රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ගැන ගැඹුරු සොයා බැලීමක් සිදු කළ යුතු යි. සෑම අතකින් ම ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ බරපතළ දුර්වලතා පවතිනවා. මේ අවස්ථාවේ අප කළ යුත්තේ වැරදි අඩුපාඩු සකස් කර ගැනීම යි. අද රටේ දැවැන්ත එකමුතුභාවයක් ඇතිව තිබෙනවා. මේ එකමුතුභාවයේ සහ සහෝදරත්වයේ ගුණාංගය සෑම දිනකම තිබිය යුතු යි. ඊට අමතරව අඩුපාඩු මගහරවා ගෙන අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගත යුතු යි.

පවතින IMF ගිවිසුම වෙනස් කළ යුතුයි

දේශීය හා විදේශීය මාධ්‍ය හරහා මේ ආපදාව ගැන පණිවිඩය ලැබෙන විට ක්‍රියාත්මක නොවීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය යි. මේ ආපදාවෙන් ඉගෙන ගත් පාඩම් ප්‍රායෝගිකව රටේ ස්ථාපිත කළ යුතු යි.

රජය කරුණාකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කර පවතින අයි. එම්.එෆ් ගිවිසුම වෙනස් කර රටටත් ජනතාවටත් එල්ලවන පීඩනය අවම කළ යුතු යි. පැහැදිලි ජනතාවාදී ජනහිතකාමී සංශෝධනයක් ලබා දී කියපු ආකාරයේ සහන ලබා දිය යුතු යි. හැකිනම් මීටත් වඩා සහන ලබා දිය යුතු යි.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න