මරණ තර්ජන ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වන ලෙස ගෝඨාභයට නියෝග

මරණ තර්ජන ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වන ලෙස ගෝඨාභයට නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාල කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (10) දින නියෝගයක් නිකුත් කරනු ලැබිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමට අදාල නඩුව ඊයේ දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සපැහැරගෙන ගොස් වසර 14ක් සැපිරෙන ඊයේ ( 2025. 12. 10 )  දින ඊට අදාළ නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය. එහිදී ගෝඨාභය රාජපක්ෂ නැවත වරක් ජීවිත තර්ජන ඇති බව පවසමින් උසාවිය මගහැර සිටි අතර එවැනි ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාළ කරුණු 2026 පෙබරවාරි 06 වැනිදා දිවිරුම් ප්‍රකාශක් මගින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස අද දින යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ නඩු විභාගය වෙනුවෙන් යාපනය අධිකරණයට පැමිණ සිටියේය.


pubudu
මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

"අද දෙසැම්බර් මාසේ 10 වෙනිදා. අදට තමයි ලෝක මානවහිමිකම් දිනය යෙදිලා තියෙන්නේ. මීට අවුරුදු 14කට කලින් ලෝක මානව හිමිකම් දිනය සැමරීම සඳහා යාපනයේදී ක්‍රියාමාරග සකස් කරමින් සිටියදී තමයි ලලිත් සහ කුගන් සහෝදරවරු දෙදෙනාව පැහැරගෙන ගිහිල්ලා අතුරදන් කළේ. ඒ පැහැරගැනීම වුනේ අධි ආරක්ෂිත කලාපයකදී. මේ මේ විදිහට මනුෂ්‍යයින් පැහැරගෙන ගිහිල්ලා අතුරදන් කරපු පළවෙනි අවස්ථාව නෙවෙයි. මීට කලිනුත් මේ විදිහට දහස් ගණනක් පැහැරගත්තා. අතුරදන් කළා. තව දස දහස් ගණනක් මරා දැමුවා. හැබැයි ඒ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරපු ගොඩක් අය අදටත් ඉන්නේ නිදැල්ලේ. ඔවුන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වෙලා නෑ.

මැක්ස්වෙල් පරණගම කොමිසමට විතරක් අතුරදන් වූවන්ගේ නම් 25,000කට වඩා ලැබිලා තියනවා. ඒවා ගැන පරීක්ෂණ වෙනවා වෙනුවට දැන් වෙමින් තියෙන්නේ මේ අතුරදන් වීම් ගැන සිදුවන පොලිස් විමර්ශන සහ ඊට අදාළ සාක්ෂිත් අතුරදන් වෙන එක. අතුරදන් වූවන්ගේ කාර්‍යාලය කියලා එකක් හැදුවා. දැන් ඒක අතුරදන් වෙලා. මෙහෙම පැහැරගෙන ගිහිල්ලා මනුෂ්‍යයින් අතුරදන් කිරීම්වලට එරෙහිව දැනට අධිකරණයක් හමුවේ ඉතුරු වෙලා තියන එකම නඩුව තමයි මේ ලලිත් සහ කුගන් සහෝදරවරු අතුරදන් කිරීමට එරෙහිව අපි ගොනු කළ නඩුව. හැබැයි මේගොල්ලො උත්සහ කළේ ඒ නඩුව අතුරදන් කරන්න. දැන් ඒක බැරි වුනාම සාක්ෂි මකන්න උත්සහ කරමින් ඉන්නවා.

අන්තිමට සති හතරක් ඇතුළත උසාවියට ඇවිත් මේ නඩුවට අදාළව සාක්ෂි දෙන්න කියලා ගෝඨාභය රාජපක්ෂට අධිකරණය නියෝග නිකුත් කළේ පසුගිය ජූලි මාසේ. දැන් මාස 7කට වැඩියි. හැබැයි අදත් ඔහුගේ නීතඥවරු ඇවිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තියනවා ඒ නිසා යාපනයට එන්න බැහැ කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණය වෙලාවේ යාපනයට ඇවිත් රැස්වීම් ගන්නකොට ඒ ප්‍රශ්නය තිබුණේ නැද්ද ? ඒ නිසා පැහැදිලියි ගෝඨාභය මේ උත්සහ කරමින් ඉන්නේ උසාවිය මගහරින්න.

පසුගිය කාලෙම මේ රටේ සිද්ධ වුනේ මේක. මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්වලට සම්බන්ධ අපරාධකරුවන් නීතියෙන් කට්ටි පැන පැන ඉන්නවා. නමුත් මේ අපරාධ රාජ්‍යයේ වුනු අපරාධ එහෙම යටගහන්න අපි ඉඩ දෙන්නේ නෑ. අපි මේ රටේ ජනතාවටත් කියන්නේ මේ අපරාධ එහෙම යටගහන්න දීලා බලාගෙන ඉන්න එපා. විශේෂයෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුවට ඡන්දය දීමේදී ජනතාව බලාපොරොත්තු වුණ ප්‍රධාන දෙයක් තමයි පසුගිය ආණ්ඩු මගින් සිදුකළ අපරාධවලට නීතිය ක්‍රියාත්මක වීම. නමුත් ආණ්ඩුව දිගින් දිගටම කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන එක. සමාජයේ කතාවක් තියනවා ප්‍රමාදවන යුක්තිය යනු ඉටු නොවන යුක්තියයි කියලා. හැබැයි අපි ආණ්ඩුවට කියනවා මේ අපරාධවලට අදාළ පරීක්ෂණත් එහෙම ඉටු  නොවන යුක්තියේ ගොන්නට ඇතුළත් කරන්න එපා කියලා. ඒ නිසා ඉක්මනින් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට තදින් බලපෑම් කරනවා. "

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, නීතිඥ නුවන් බෝපගේ.


"මීට අවුරුදු 14කට පෙර අද වගේ දවසක තමයි යාපනයේදී ලලිත් සහ කුගන් සහෝදරවරු අතුරදන් වුනේ. මේ වෙද්දි ලැබිලා තියන සාක්ෂි අනුව හොඳින්ම පැහැදිලියි මේ පැහැරගැනීමට සහ අතුරදන් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයක් තියනවා කියලා. ඒ අනුව තමයි යාපනය උසාවිය ගෝඨාභය රාජපක්ෂට උසාවියට ඇවිත් සාක්ෂි දෙන්න කියලා 2019 අප්‍රේල් මාසෙදි නියෝගයක් නිකුත් කළේ. නමුත් ඔහු ජනාධිපති වීමත් සමග ජනාධිපති මුක්තියට මුවා වෙලා උසාවිය මගහැරියා. නමුත් පසුව අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා ගෝඨාභය රාජපක්ෂට යාපනය උසාවියට ගිහින් සාක්ෂි ලබා දෙන්න කියලා. හැබැයි අදත් ඊට අදාළ නඩුව කැඳවූ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ කලේ උසාවිය මගහැරපු එක. තමන්ට ජීවිත තර්ජන තියනවා ඒ නිසා යාපනයට එන්න බෑ වගේ කතා කියලා ඔහු උසාවිය මගහරිනවා.

අපේ තර්කය වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ නීතියට උඩින් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහුට බෑ උසාවියේ නියෝගය පිළි නොගෙන ඉන්න. අනිත් එක ගෝඨාභයට ජීවිත තර්ජයනයක් තියනවනං ඔහු උසාවියේදී ඒ ගැන කරුණු දක්වන්න ඕන. හැබැයි ඔහු එහෙම කරලත් නෑ. ඒ නිසා අපි දිගින් දිගටම ලලිත් කුගන් සහෝදරවරු අතුරදන් කිරීමට එරෙහිව හඬ නගන්න සූදානම්. ගෝඨාභය රාජපක්ෂ හරි මේ අපරාධයට වගකිවයුතු අනික් අය හරි ඒ සියලුදෙනාටම දඬුවම් ලබා දෙන තෙක් දිගින් දිගටම අධිකරණය හමුවේ හඬ නගන්න අපි පසුබට වෙන්නේ නෑ. "



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න