2012 වසරේදී ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 184ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමිසම ඊයේ (10) දැනුම් දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටි විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
රජයට අලාභය වූ රුපියල් කෝටි 184ක මුදල දඩයක් ලෙස ගෙවීමට සූදානම් නම් 1 වැනි චුදිතට එරෙහිව පවරන ලද නඩුව ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය දන්වා සිටියාය.
එහිදී මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිලාන් රත්නායක සිය සේවාදායකයා එම ඉල්ලීමට එකඟ නැති බව දන්වන ලදී. එම කරුණ සැලකිල්ලට ගෙන නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව දූෂණ විරෝධි පනතේ 67 වැනි වගන්තිය යටතේ ඉවත්කර ගන්නා බව දන්වා සිටියේය.
එමෙන්ම නඩුවේ සෙසු චුදිතයන්ට එරෙහි චෝදනා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 194 (3) වැනි වගන්තිය යටතේ ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව නඩුවේ 2,3 හා 5 වැනි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළේය. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අමතරව නියෝජ්‍ය අධිපතිවරු වන කේ.ඩී. ධර්මසේන ධීරසිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා සහ සහකාර අධිපතිවරුන් වන චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන, එච්.ඒ. කරුණාරත්න සෙසු වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත. නඩුවේ 4 වැනි වගඋත්තරකරු වන චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන මේ වන විට මිය ගොස් තිබේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙයට පෙර අවස්ථාවකදී ද විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පැවරීමක් කර තිබිණි.
එම අධිචෝදනා පත්‍රය අත්සන් කරන අවස්ථාවේ අල්ලස් කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කර නොතිබිණි. නිසි පරිදි චෝදනා පත්‍රයක් ප්රතිෂ්ඨාපනයව නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් අධිකරණය එහිදී චුදිතයෝ නිදහස් කළහ.
නඩුවේ 3 වැනි හා 5 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සමඟ නීතිඥ ශාලික ගුණවර්ධන කරුණු දැක්වීය.
(dinamina - චන්දන ජයවීර)

