ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදි පසුගියදා වෙන්නප්පුවේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය ගිංඔයට ගොඩබැස්සවීමට සිදුවූයේ එහි කාර්මික දෝෂයක් හටගැනීම නිසා බව සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක ප්‍රකාශ කරයි.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී වෙන්නප්පුවට ඉහළ අහසේ යානය පියාසර කරමින් සිටියදී ගිංඔය පාලම මත සහ අවට සිටි පිරිස් දෑත් වනමින් ආධාර ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත්, විශාල පිරිසක් සිටීම සහ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇද තිබූ නිසා යානය පාලම මත හෝ මාර්ගයට ගොඩබැස්සවීමට නොහැකි වූ බවත් සුදුසු ස්ථානයක ගොඩබැස්සවීමට උත්සහ කළ අවස්ථාවේදී යානය කාර්මික දෝෂයක් පවතින බවට මියගිය ප්‍රධාන ගුවන් නියමුවාට සහ තමන්ට හැඟී ගිය බව සහයක ගුවන් නියමුවා සඳහන් කළේය.
කෙසේ වෙතත්, යානය හරවනවාත් සමග එය එක්වරම ගිංඔයට කඩා වැටුණු බව සාක්ෂි ලබාදෙමින් හෙලිකොප්ටරයේ සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක වැඩිදුරටත් කියා සිටියේය.

