අවදානම විනාශය කලින් දැනුම් දුන්නා නම් යම් මට්ටමකට හෝ අවම කර ගැනිමට හැකියාවක් තිබුණා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස පළ කළේ ඉයේ (08) වරකපොළ ගලපිටමඩ කපුගොඩ වත්ත දෙමළ විද්‍යාලයේ අවතැන් කඳවුරකට ගොස් එහි අඩුපාඩු සොයා බැලූ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
නිසි ලෙස ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවුයේ ඇයි...?
''මේ කාලගුණ දේශගුණ තත්ත්ව මෙන්ම දේශගුණික විපර්යාස නිසා විවිධ කැලබිලි සිදු වෙනවා. මේ නිසා ඇති වන ඛේදවාචකයන් ගැන, අවධානම ගැන දැනුම් දිමේ නිසි ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවුනු බවට දැන ගන්නට ලැබෙනවා. වාර්තා අනුව අප රටේ පවුල් 611,000ක පුද්ගලයින් 2,100,000 අවතැන් වී තිබෙනවා. ජීවිත දේපළ අහිමිවීම මෙන්ම අතුරුදන් වූ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව සිටිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන විට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොවුයේ ඇයිද කියා සිතාගත නොහැකි යි. දින 15ක් පුරා දේශීය විදේශීය මාධ්‍ය ආයතන සහ කාලගුණ අනාවැකි පළ කරන ආයතන අනතුරු ඇඟවූවත්, එවැනි තත්ත්වයක් තිබියදීත් නිසි ලෙස ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවුයේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. ආපදාව ගැන දැන දැනත් ක්‍රියාත්මක නොවීම යනු විපතට පත් ජනතාවගේ මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.
සුනාමියෙන් පාඩම් ඉගෙන නොගත්ත ද...
සුනාමියෙන්වත් පාඩම් ඉගෙන නොගත්තත්, මේ ආපදාවෙන් හෝ පාඩම් ඉගෙන ගෙන අප රටට එල්ල වන විවිධාකාර කාලගුණ දේශගුණික බලපෑම් අවම කර ගන්න කටයුතු කළ යුතු යි. ආපදා කළමනාකරණ යාන්ත්‍රණය වෙනස් විය යුතු යි. මෙය ජීවිත අහිමි වූ, ජන ජීවිත විනාශ වූ, ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් විය යුතු යි. අවදානමට ලක්වු ජනතාවට මුලික පහසුකම් ලැබුණත් මොවුන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න සුවිශේෂ වැඩසටහනක් අවශ්‍ය යි. ඒ අතරතුර මේ අවතැන් වූ ජනතාවට ලබා දිය යුතු උපරිම සහන දිය යුතු යි. ආහාර පාන මෙන්ම මිනිසකුට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ ලබා දිය යුතු යි.''


