ආපදාවෙන් ජල සම්පාදනයට කෝටි 500ක අලාභයක්

ආපදාවෙන් ජල සම්පාදනයට කෝටි 500ක අලාභයක්

ආපදා තත්ත්වයෙන් ජල සම්පාදනයට රුපියල් කෝටි 500 ක(බිලියන පහකට)ආසන්න අලාභයක් සිදු වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කරයි.

වැඩිම හානියක් සිදුවී ඇත්තේ මහනුවරින් ගලා බසින මහවැලි ගඟ අසල කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ජල පොම්පාගාරයට බවත් ඊට අමතරව මහනුවර නිල්ලඹ ප්‍රදේශයේ පිහටි ජල පොම්පාගාරයේ කොටසක් නාය ගොස් ඇති බවත් චන්දන බණ්ඩාර පැවසිය.

මීට අමතරව මහියංගනය මහවැලි ගඟ අසල පිහිටි ජල පොම්පාගාරයටද බරපතල හානි සිදුවී ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

ආපදා තත්ත්වයෙන් ජල පොම්පාගාර 156කට බලපෑම් එල්ලූ බවත් ඉන් ජල පොම්පාගාර 148 ක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ක්‍රියාත්මක කර ඇති බවත් තවත් ජල පොම්පාගාර 8ක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම මහියංගනය ජල පොම්පාගාරය අද හවස් වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි හෙතෙම බලාපොරොත්තු වේ.

නිල්ලඹ ප්‍රදේශයේ ජල පොම්පාගාරයේ කොටසක් නාය ගොස් ඇති නිසා එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා යුද හමුදාව, නාවික හමුදාව සහ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

නිල්ලඹ ප්‍රදේශයේ ජල පොම්පාගාරය යථා තත්ත්වයට පත්කිරීමට කාලයක් ගතවනවා නම් තාවකාලිකව ජලය සැපයීම සඳහා ක්‍රමවේදයක් ඒ ප්‍රදේශයට අනුගමනය කරන බවද සභාපතිවරයා පැවසිය.

හෙම්මාතගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ ජල පොම්පාගාර තුනක් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුද කඩිනමින් සිදු කිරීමට හැකිවනු අති බවද සභාපතිවරයා සඳහන් කළේය.

හදිසි ආපදා තත්ත්වයෙන් ජල සැපයුම අඩාළ වූ ප්‍රදේශවල 90%ක් පමණ මේ වන විට ජල සැපයුම යථාවත් කිරීමට හැකි වී ඇති බවද චන්දන බණ්ඩාර වැඩිදුරටත් පැවසිය.

(hirunews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න