පුවත්පතේ පළ වූ පුවත් සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියක් ලෙස යොදා නොගන්නා ලෙස ද අදාළ නිවේදනය මඟින් ඉල්ලීමක් කර ඇත.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සහ ලේකම් දිලීෂා අබේසුන්දර ගේ අත්සනින් යුතුව අද (24) නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.
මාධ්‍ය නිවේදනයයි
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.
පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ දේශපාලන ව්‍යාපාරයක් මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.
වාර්තා වන අලුත්ම සිදුවීම දෙරණ අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා තිබීමයි. ඒ පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් ඉලේපෙරුම කර්තෘත්වය හොබවන දෙරණ අරුණ පුවත්පතේ පළවීම නිසායි.
පොලිසිය භාර ඇමතිවරයා ලෙස මෙවැනි අවස්ථාවක ආනන්ද විජේපාල හැසිරිය යුත්තේ ජනතාව ප්‍රතික්ෂේප කළ පසුගිය ආණ්ඩුවල ලෙස අත්තනෝමතිකව නොවේ. සිය අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටු කිරීම වන්නේ, පුවත සාවද්‍ය නම් පිළිතුරු දීමේ අයිතිය භාවිතා කොට සත්‍යය පළ කිරීම සහ පුවත ඇත්තක් නම් අදාළ අවකල් කටයුත්ත සිදු නොකරන මෙන් පොලිසිය දැනුවත් කිරීමයි. අපට දැනගන්නට ලැබී ඇති පරිදි පුවත්පතේ සඳහන් කරුණ සැබෑවකි. සමස්ත සමාජයම බැරෑරුම් ලෙස ගත යුත්තේ එම කාරණයයි. පොලිස් සහතිකයක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරියකු වන ග්‍රාම නිලධාරීවරයාගෙන් තහවුරුවක් රැගෙන යෑම වරදක් නොවේ. එහෙත් දේශපාලනික සහ වෙනත් පෞද්ගලික හිත පක්ෂපාතිකම් තිබිය හැකි ප්‍රජා කමිටුවක සභාපතිවරයකුගෙන් එවැනි තහවුරුවක් ලබා ගැනීමට සැලැස්වීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. එවැනි පුද්ගලයින් අපක්ෂපාතී ලෙස හැසිරෙන බව කීම අසීරු වන බැවිනි.
එසේ තිබියදී ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත පිළිබඳව සඳහන් කරමින් මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්නට හෝ තමන් භාරයේ පවතින පොලිසිය වෙත කැඳවන්නට උත්සාහ ගන්නේ නම් එය දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයකි. මේ රටේ ජනතාව දේශපාලන විපරිවර්තනයක් ලෙස බලාපොරොත්තු වූයේ මෙවැනි හැසිරීම්වලටත් තිත තැබීම ඇතුළුව සමස්තයේ වෙනසක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.
එබැවින් මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම පොලිසිය වෙත කැඳවීම නොකළ යුත්තක් බව පෙන්වා දෙමින් හෙළා දකින අතර පොලිසියට යමක් දැන ගැනීමට වුවමනා නම් ඔහු වෙත යා හැකි බවද දැනුම් දෙමු. එසේම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ ඇමති ආනන්ද විජේපාලට පිළිතුරු දීමේ අයිතිය ඇති බැවින් පුවත්පත ඇමතීමට අවස්ථාව තිබෙන බවයි. එසේම ඇතැම් අවස්ථාවල මර්දනකාරී නීතියක් වන හා ඇතැම් දූෂිත දේශපාලනඥයින්ට තම නිරුවත මාධ්‍යයෙන් වසන් කරගන්නට ඇති කඩතුරාවක්ද වන පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍යයට එරෙහිව යොදා නොගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේග ආණ්ඩුව දූෂණය සම්පූර්ණයෙන් මැඩලන බවට දුන් පොරොන්දු ඉටුකළ හැක්කේ එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ තුළිනි.

