නුවරඑළිය නගරාධිපති මිලියන 25ක නිල රථයක් හා මිලියන 110 නිල නිවසක් ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නුවරඑළිය මාලිමා නගරාධිපතිට බෝවෙලා තියෙන රථ ගායට සහ නිළ නිවාස මේනියාවට විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ස්වාධීන කණ්ඩායමේ විරෝධය පළවේ.
2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ නගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි.
නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී පූජ්‍ය මාකඳුරේ රතන වංශ හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ඉල්ලද්දි වාහන එපා කියලා ඇවිල්ලා දැන් රථ ගාය හැදිලා වගේ නිල නිවාස එපා කියලා ඇවිත් දැන් නිල නිවාස ඉල්ලනවා වගේ නුවරඑළිය නගරාධිපතිවරයාට රථ ගාය සහ නිල නිවාස මේනියාව ඇති වී මහජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීමට සූදානම් වන බවයි.
ඔවුන් මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගිය මාසික සභා වාර වලදී නගරාධිපතිවරයා දැනට භාවිතා කරන නිල රථය වෙනුවට සැප පහසු නිල රථයක් නගරාධිපතිවරයාට ලබා ගැනීම සදහා ජාතික ජනබල වේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ආර්.වසීහරන්ගේ යෝජනාව සහ නගරාධිපතිවරයාට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් නගරාධිපතිවරයා කළ ඉල්ලීම පසුගිය 2025.11.14 දින පැවැති මාසික මහ සභාවේදී සභා අනුමැතිය ලැබීමත් සමගය.
වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ ස්වාධින කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී මාකදුරේ රතන වංශ හිමියන් මෙසේ අදහස් දැක්විය.
''2025.11.14 දින නුවරඑළිය මහ නගර සභාවේ මාසික මහ සභාවේදී නගරාධිපතිවරයාට අලුත් නිල රථයක් සහ නගරාධිපති නිවසක් ඉදිකිරීමේ මෙම යෝජනාවන් දෙක ඉදිරිපත් කරන අවස්ථාවේදී ද අපගේ විරෝධය අපි ප්‍රකාශ කළා . මේ පත්වෙලා ඉන්න නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර නුවරඑළිය මහ නගර සභාවේ 19 වෙනි නගරාධිපතිවරයා , මෙතෙක් කල් හිටපු නගරාධිපතිවරුන් කිසිම කෙනෙක් තමන්ගේ සුඛ විහරණය සඳහා මෙතරම් මුදල් කන්දරාවක් යට කරන යෝජනා ඉදිරිපත් කරලා නැහැ . මේ වන තෙක් එක් නගරාධිපතිවරයෙකු වත් නිල නිවසක් අවශ්‍යයි කියල ඉල්ලලා නෑ මොකද මේකේ නගරාධිපතිකම් කරන්න ආවෙ පිට මිනිස්සු නෙවෙයි නුවරඑළියෙම පයින් එන දුර දුරක පදිංචි වෙලා ඉන්න අය. වර්තමාන නගරාධිප
තිවරයාටත් පයින් එන දුරක තමයි නිවස පිහිටලා තියෙන්නේ.
ඒ විතරක් නෙමෙයි. මෙම නිල නිවාස ඉදිකිරීමට යෝජනා කරන්නේ නුවරඑළියේ වාණිජ වටිනාකම් වලින් වැඩි පර්චසයක් රුපියල් කෝටියටත් වැඩි මුදලකට ඉල්ලුම තියෙන ස්ථාන වල. නගරාධිපතිවරයාට සිය සුඛ විහරණය සඳහා නිල නිවසක් ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය හා ආණ්ඩු පක්ෂයට සහය දෙන කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් වශයෙන් සිදු කරන්නේ නගරාධිපතිවරයා හමුවීමට පැමිණෙන අමුත්තන්ට සැලකීම සඳහා නිල නිවසක් අත්‍යවශ්‍ය බවයි. ඒ හැම දේකටම සරිලන පරිදි තමයි හිටපු නගරාධිපතිවරුන් වන චන්දන ලාල් කරුණාරත්නගේ සහ මහින්ද දොඩම්පිකමකින්ගේ කාලය තුළදී සියලු පහසුකම් සහිත නව නගර සභා ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ ඒකෙ ඔය කියන හැම සැකිල්ලක්ම සත්කාරයක්ම කරන්න පුළුවන් නීතියට පටහැනි නොවන.
ජනාධිපති නිල නිවස් ද පොදු කටයුතු සඳහා වෙන් කිරීමේදී නුවරඑළිය ජනාධිපති නිල නිවසත් පොදු කටයුත්තකට වෙන් වෙයි කියලා අපි විශ්වාස කරනවා වත්මන් ජනාධිපතිවරයා දුන්න මැතිවරණ පොරොන්දුවල විදිහට , එවන් පසුබිමක නුවරඑළිය වැනි සංචාරක නගරයක අධි වටිනාකමකින් යුතු තැනක නගරාධිපතිවරයාට නිල නිවාසයක් කිසිසේත් අවශ්‍ය නොවන කාරණාවක් හැටියටයි අපි දකින්නේ .
ඒත් එක්කම නිල රථය ගැන සඳහන් කරනවානම් වර්තමාන නගරාධිපතිවරයාගේ නිල රථය එතරම් පරණ එකක් නෙමෙයි , එය සාමාන්‍ය රාජකාරී වලට භාවිතා කිරීම සඳහා ඇති නිල රථය. එයට අමතරව විශේෂ අවස්ථා සඳහා භාවිතා කිරීමට සුඛෝපභෝගී කැබ් රථයක් සහ අධි සුඛෝපභෝගී වෑන් රථයක් ද නුවරඑළිය මහ නගර සභාව සතුව තිබෙන විට මහජනතාවගේ බදු මුදලින් රුපියල් මිලියන 25ක් කැබ රතයක් මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කිරීම මහජන මුදල් අවභාවිතාවක් හැටියටයි අප දකින්නේ . හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ ගැන විශේෂයෙන් සඳහන් කරන විට ඔහු නගරාධිපති නිල රථය කිසිම හේතුවක් මත භාවිතා කරලා නැහැ ඔහු රාජකාරී කටයුතුවලදීත් භාවිතා කළේ ඔහුගේ පෞද්ගලික රථය පමණයි. අඩුම තරමේ පෞද්ගලික රථයට ඉන්ධනවත් ලබා ගත්තේ නැහැ ඔහු ඉන්ධන සඳහා වැය කරපු මුදල සහ ඔහුගේ සම්පූර්ණ මාසික දීමනාවද පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාර පිරිනිවීමට වියදම් කරා.
එවන් අගය කළ යුතු ක්‍රියාවන් සිදුකළ නගරාධිපතිවරු පාලනය කල නුවරඑළිය මහ නගර සභාවේ නව නගරාධිපති උපාලි වනිගසේකරට මේ හැදිලා තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැදිලා තියෙන රථ ගාය සහ නිල නිවාස මේනියාව කියලයි අපි දකින්නේ.
අපිට මතකයි බලයට එන්න කලින් වත්මන් ජනාධිපතිවරයා කියනවා පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ට තවත් එයට කලින් හිටපු මන්ත්‍රී කෙනෙකු පස්ස තිබ්බ වාහන භාවිතා කරන්න බැරි මානසික ලෙඩක් තියෙනවා . අපි බස් එකේ හරි කෝච්චිය හරි ගිහිල්ලා මහජන සේවය කරනවා. මහජනතාවට නොලැබෙන වරප්‍රසාද කිසිවක් අපිට එපා කියලා .. අපිට ටිකක් කල්පනා කරලා බලන්න කියලත් ඒ කාලේ කිව්වා.
ඒ ජනාධිපතිවරයාගේම පාලන සමයේ පත්වෙච්ච ඔහු යටතේම දේශපාලනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් අළුත් වාහන ගේන්න අයවැයේදී පාර්ලිමේන්තුවට යෝජනා කරනවා. ඒ වගේම තමයි නිල නිවාස අපි ගන්නේ නෑ ඒවා පොදු කටයුතු වලට වෙන් කරනවා කිව්වා ඒත් දැන් නිල නිවාස වලට පොර කනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන ඒ ලෙඩේම නුවරඑළිය නගරාධිපතිවරයාටත් බෝවෙලා මහජන බදු මුදලින් අති විශාල මුදලක් කන්දරාවක් තනි පුද්ගලයෙකුලෙස තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වෙන් කරවා ගැනීමට එරෙහිව විපක්ෂයක් හැටියට අපි විරුද්ධ වෙනවා වගේම එම ක්‍රියාව තරය හෙලා දකිනවා.
නුවරඑළිය නගරයේ සංවර්ධන කටයුතු රැසක් ඉතිරිව තිබෙනවා කරන්න , කසල කළමනාකරණ ගැටලුව නාගරික සංවර්ධන කටයුතු හා සතිපොළ සංවර්ධන කටයුතු ජල ගැටලු විසඳීම වැනි මහජනතාවට ප්‍රයෝජනවත් දේවල් සියල්ල පසෙක තබා මහජන බදු මුදලින් නගරාධිපති සැප විඳින්න යන එකට අපි තරයේ විරුද්ධයි එයට විරුද්ධව පාරට බසින්න වුනත් අපි ලෑස්තියි .
අපේ විරෝධතාවය අපි මෙලෙස ප්‍රකාශ කරත් මෙම යෝජනා ඇතුළත් 2026 නව අයවැය සභා සම්මත කර ගනී කියලත් අපි හිතනවා. ඒකට හේතුව නියෝජ්‍ය නගරාධිපති කියන කේජු කෑල්ලට පෙරේත වෙලා කුකුලා සලකුණ කරගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහ ලේකම් කම හොබවන ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පිහිටෙන් අයවැය දිනන්න පුළුවන් . බහුතරයට විපක්ෂය තිබ්බ නුවරඑළිය මහනගර සභාවේ බලය අත්පත් කරගත්ත විදිහටම ඒකත් කර ගනිවි කියල අපිට පේනවා .
මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී නුවන් පෝරුතොටගෙන් අප විමසීමක් සිදු කලද ඔහු ඇතුළු සමගි ජන ජන බලවේගයෙන් නගරාධිපතිවරයාට නිල රථයක් සහ නිල වාහනයක් ලබාදීමේ යෝජනාවට කිසිදු අදහසක් දැක්වීම ප්‍රතික්ෂේප කර නිහඬ වීමත් දක්නට ලැබුනා.
ඒ පිළිබඳව අප තවත් විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සිදුකළ විමසුමකට ඔවුන් කියා සිටියේ හිටපු නියෝජ්‍ය නගරාධිපති යදර්ශනා පුත්තිර සිගාමනිට ජාතික ජන බලවේගය පාලනය සතු නුවරඑළිය මහ නගර සභාවේ ක්‍රීඩා හා අධ්‍යාපන ස්ථාවර කාරක සභා සභාපතිකමක් හිමිව ඇති පසු බිමක එම සභාපතිකම රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ යෝජනාවන් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මුනිවත රකින බවයි.

නගරාධිපතිවරයා ගෙන් කරුණු පැහැදිලි කිරීමක් ....
මෙසේ විපක්ෂයෙන් එල්ල වන මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති, උපාලි වනිගසේකර ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ, නගරාධිපතිවරයාගේ නිල වාහනය සහ නිල නිවසක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැනට සංසරණය වන ඇතැම් වැරදි මත විධිමත් ලෙස ආමන්ත්‍රණය කර පැහැදිලි කිරීමට නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති ලෙස තමා ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.
කෙසේවුවද මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නගරාධිපතිවරයා කල කරුණු පැහැදිලි කිරීමට අදාල සටහනක් මතු පළවේ.
1. නගරාධිපතිවරයාගේ නිල වාහනය පිළිබඳව පැහැදිලි කිරීමක්
නගරාධිපතිවරයාගේ නිල වාහනය හොඳ තත්ත්වයේ පවතින බවත් ප්‍රතිස්ථාපනය අවශ්‍ය නොවන බවත් යෝජනා කරමින් වැරදි තොරතුරු අන්තර්ජාලය හරහා බෙදාගෙන ඇත. මෙය වැරදියි.
අදාළ වාහනය අවුරුදු පහළොවකට වඩා පැරණි වන අතර දැනට දැඩි ලෙස අබලන් වී ඇත. කාලයත් සමඟ එහි යාන්ත්‍රික තත්ත්වය නරක අතට හැරී ඇති අතර, ආකෘතියේ වයස නිසා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කොටස් දැන් ලබා ගැනීම අතිශයින් දුෂ්කර ය. මේ වන විටත් එම වාහනය කාර්මික දෝශ හේතුවෙන් ගරාජයට දමා ඇත.
මෙම තත්වයන් සැලකිල්ලට ගෙන, නිල රාජකාරිවල අඛණ්ඩතාව සහ කාර්යක්ෂමතාව සහතික කරමින් නගරාධිපතිවරයා සඳහා සුදුසු නිල වාහනයක් මිලදී ගැනීමට නගර සභාව විධිමත් අනුමැතිය ලබා දුන්නේය. මෙම තීරණය විනිවිදභාවයෙන් සහ ස්ථාපිත පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගනු ලැබීය.
2. නගරාධිපතිවරයාගේ නිල නිවස පිළිබඳ පැහැදිලි කිරීමක්
නගරාධිපතිවරයා සඳහා නිල නිවසක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු වී ඇත. මේ සඳහා තෝරාගත් නිවස නුවරඑළිය මහ නගර සභාව සතුව ඇති දේපළවලින් එකකි. කවුන්සිලය එහි වෙන් කිරීම සහ ප්‍රතිසංස්කරණය නිල භාවිතය සඳහා සාකච්ඡා කර, එකඟ වී, විධිමත් ලෙස අනුමත කළේය.
වර්තමානයේ, නගරාධිපතිවරයාට තම පෞද්ගලික නිවස නිල අමුත්තන් සඳහා භාවිතා කිරීමට සිදුවී ඇත්තේ ඒ සඳහා විකල්පයක් නොමැති බැවිනි. නුවරඑළිය ප්‍රධාන සංචාරක නගරයක් සහ පරිපාලන මධ්‍යස්ථානයක් වන බැවින්, නගරාධිපතිවරයාට දේශීය හා විදේශීය අමුත්තන්, අනෙකුත් නගර සභාවලින් නිලධාරීන් සහ රටවටා විවිධ ප්‍රදේශ වලින් සහාය පතා එන මහජනතාව සැලකිය යුතු සංඛ්‍යාවක් පැමිණේ. ඔවුන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා සහ හමුවීම් පැවැත්වීම සඳහා නුවරඑළියේ හෝටල් පරිශ්‍ර ලබාගැනීමට වියදම් කළහොත් ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැයවේ. එබැවින් මේ වන විට නගරයෙන් පිට පිහිටි නගරාධිපතිවරයාගේ පුද්ගලික නිවසේ එම හමුවීම් සඳහා පහසුකම් ලබාදුන්නද එයින් ආගන්තුකයින්ව අපහසුතාවයට පත්වේ.
නිල නිවසක් පැවරීම අනෙකුත් නගර සභා වල පිළිවෙත්වලට අනුකූලව නිල රැස්වීම් සහ අමුත්තන් පැවැත්වීම සඳහා වඩාත් සුදුසු, විනිවිදභාවය තහවුරු කරන ආරක්ෂිත සහ වෘත්තීය පසුබිමක් සහතික කරයි. පරිපාලන කාර්යක්ෂමතාව සහ මහජන පහසුව ආරක්ෂා කිරීම සඳහා පමණක් මෙම පියවර ගන්නා ලදී.
මෙම තීරණ ගනු ලැබුවේ නිසි කවුන්සිලයේ ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් සභා සම්මතයෙන් සහ ඵලදායී රාජ්‍ය සේවා සැපයීම සහතික කිරීමේ එකම අරමුණ ඇතිවය. නගරාධිපති මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සත්‍යාපිත තොරතුරු මත විශ්වාසය තබා සමාජ මාධ්‍යවල සාවද්‍ය සහ සමපේක්ෂන පළ කිරීම් මගින් නොමඟ නොයන ලෙසයි.
(මුලාශ්‍ර වාර්තාව : නාලක රත්නායක - නුවරඑළිය)

