කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් කරගත යුතු හෘද රෝගීන් පන්දහසක් පොරොත්තු ලේඛනයේ සිටින බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් හෙළිකරගෙන ඇත.
කොළඹ ජාතික රෝහලේ පොරොත්තු ලේඛනයේ සිටින හදවත් රෝගීන්ගේ සැත්කම් අවසන් කරන කාල සීමාව වසර හතරක් දක්වා දිගු එකකැයි ද හෙළිවී ඇත.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව කොළඹ ජාතික රෝහලෙන් මෙම තොරතුරු ලබාගෙන ඇත.
ඒ අනුව ඔහුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මහනුවර, කරාපිටිය, මඩකලපුව, යාපනය, අනුරාධපුර ඇතුළු හෘද සැත්කම් සිදු කරන අනෙකුත් රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනයන් සමග හදවත් රෝගීන් දසදහසකට (10,000) අධික පිරිසක් මෙයාකාරයට තම අවස්ථාව ලැබෙන තුරු බලා සිටින බවයි.
රජයේ රෝහල්වලින් මෙම රෝගීන් හදවත් සැත්කම් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේ පෞද්ගලික රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීමට මුදල් නොමැති නිසා බවද, වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.
පුද්ගලික රෝහලකින් හදවත් සැත්කමක් කර ගැනීමට අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් පමණ වැය වන බවද හෙතෙම කියා සිටී.
හදවත් සැත්කම් කඩිනමින් සිදු කළ යුතු රෝගීන්ගේ ජීවිත අවදානමකට වැටී ඇති බැවින් මෙම රෝගීන්ට කඩිනමින් අදාළ සැත්කම් සිදු කිරීමට යම් කිසි වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු බවද චමල් සංජීව පෙන්වා දෙයි.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ ගේ අත්සනින් යුක්තව මෙම තොරතුරු ලබාදී ඇත. ඒ අනුව හෘද රෝග විශේෂඥ වෛද්‍ය අයි. විජේරත්නට හදවත් රෝගීන් 600 ක් ද, වෛද්‍ය එම්. මුණසිංහ ට රෝගීන් 756 ක්, වෛද්‍ය එම්. එන්. ජසීල්ට රෝගීන් 2400 ක් ද, වෛද්‍ය කේ. ඤානකාන්තන්ට රෝගීන් 400 ක්, වෛද්‍ය ඒ. ඒ. කමලදාසට රෝගීන් 761 බැගින් පොරොත්තු ලේඛණවලට ඇතුළත්ව සිටිති.
(aruna| අභිමාන් විජයවර්ධන)

