අන්තර්ජාලය තුළ, සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව ඇසුරින් සාදා ඇති බවට ප්‍රචාරය වූ ආලේපනයක් වසර දහයකට අධික කාලයක් තිස්සේ භාවිතා කිරීම හේතුවෙන්, සර්ප සමක වැනි දම්-රතු පැහැති රටා තම සිරුරේ මතුවුණු බව කියන චීන කාන්තාවක් පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.
‘ටින්ග්ටින්ග්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 40 හැවිරිදි මෙම කාන්තාව ගෙවුණු ඔක්තෝබර් මාසයේදී ජියැන්ග්ෂු පළාතේ නැන්ජින්ග්හි නිරිතදිග විශ්වවිද්‍යාලයේ ෂොන්ග්ඩා රෝහල වෙත ඇතුළත් කර ඇත.
ඇය කිසිවිටෙකත් වෛද්‍ය උපදෙස් නොපතා ස්වයං-ඖෂධ ප්‍රතිකාර ලබාගත් බව රෝහලට හෙළි කර තිබේ.
ටින්ග්ටින්ග්ට අනුව, මෙම තත්ත්වය ආරම්භ වූයේ වසර 10 කට පෙර ඇගේ දකුණු පාදයේ රතු ලප සහ කැසීම ඇතිවීමත් සමඟයි. ඇය දිගින් දිගටම කැසීම නිසා එම තුවාල ශරීරය පුරා වේගයෙන් පැතිර ගිය බව ඇය පවසා ඇත.
සහනයක් පතා ඇය අන්තර්ජාලය වෙත යොමු වූ අතර, එහිදී සියලු ආකාරයේ චර්ම රෝග සුව කළ හැකි බවට පුළුල් ලෙස ප්‍රචාරය කරන ලද සමේ ආලේපනයක් ඇය සොයා ගෙන තිබේ. විකුණුම්කරු කියා ඇත්තේ මෙම ආලේපනය පිරිසිදු සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව ඇසුරින් සාදා ඇති බවයි.
වෙළඳ දැන්වීමෙන් විශ්වාසය තැබූ ටින්ග්ටින්ග් එම ආලේපනය මිලදී ගෙන දශකයක් පුරා අඛණ්ඩව භාවිතා කළා. ඇය මුලින් ප්‍රකාශ කළේ, “මම එය මුලින්ම භාවිතා කිරීමට පටන් ගත් විට, කැසීම නැවතීම කැපී පෙනුණා. මට අවසානයේ නිවැරදි ඖෂධය සොයා ගත් බව මම සිතුවා.” කෙසේ වෙතත්, මෙම ප්‍රතිකාරය ඇගේ තත්ත්වය මුලදී ස්ථාවර කරන බවක් පෙනෙන්නට තිබුණද, ඇයගේ සෞඛ්‍යය මෑතකදී සැලකිය යුතු ලෙස පිරිහී ගොස් ඇත.
ඇය දශකයක් පුරා මෙම ආලේපනය සඳහා යුවාන් 100,000 කට වඩා (එක්සත් ජනපද ඩොලර් 14,000) වැය කර ඇති බව සඳහන්.
රෝහලට ඇතුළත් කරන විට, ටින්ග්ටින්ග් අධික ස්ථුලතාවකින් යුතු වූ අතර, ඇගේ මුළු සිරුරම ආවරණය වන පරිදි දම්-රතු, සර්පයෙකුට සමාන stretch marks සහ අධිරුධිර පීඩනයෙන් ද පීඩා විඳිමින් සිටි බව එරට වාර්තාවල දැක්වේ.
ඇය ඉදිරිපත් කළ භයානක රෝග ලක්ෂණ අතර ඇගේ මුළු සිරුරම ආවරණය වූ සර්පයෙකුට සමාන දම්-රතු පැහැති පැළුම්, පහළ පාදවල ඉදිමීම, නිතර ඔක්කාරය, වමනය සහ අත්වල හිරිවැටීම ද විය.
ෂොන්ග්ඩා රෝහලේ ප්‍රධාන චර්ම රෝග විශේෂඥ වෛද්‍ය වැන්ග් ෆෙයි සොයාගත්තේ ඇයගේ කෝටිසෝල් මට්ටම් සිතාගත නොහැකි ලෙස අඩු වී ඇති බවයි.
ඇයගේ, අත්‍යවශ්‍ය හෝමෝන ප්‍රමාණවත් ලෙස නිපදවීමට අධිවෘක්ක ග්‍රන්ථි අසමත් වන තත්ත්වයක් වන ද්විතියික අධිවෘක්ක බාහික ඌනතාවය ලෙස වෛද්‍යවරයා මෙම රෝගය විනිශ්චය කර තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඇයගේ තත්ත්වය වැඩිදියුණු වීමේ ලක්ෂණ පෙන්වීමට පටන් ගෙන ඇතත්, ඇය අදාළ ක්‍රීම් නිෂ්පාදකයාගෙන් නීතිමය වන්දි ලබා ගනීද යන්න තවමත් පැහැදිලි නැති බව එරට වාර්තාවල දැක්වේ.
(hirunews)

