මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් !

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් !

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පැවසීය.

පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය සමනය කර ගනිමින් මේ වන විට අප රටක් ලෙස සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා.

ජනවාරි, පෙබරවාරි මාස දෙක තුළ පමණක් සංචාරකයන් ලක්ෂ 05ක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ වගේම අප රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා. මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙනවා.

ඒ වගේම ඇඟලුම් හා පේෂකර්මාන්ත ආයතනය විසින් ළමුන් 500කට ආසන්න ප්‍රමාණයකට ඩිප්ලෝමා පාඨමාලා සහතික පත්‍ර ලබා දී තිබෙනවා. IDB ආයතනය සමඟ ඒකාබද්ධව පාසැල් ව්‍යවසායක කව නිර්මාණය කර දරුවන් ඇගයිමට ලක් කිරීමට ද අපට හැකියාව ලැබුණා. පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද කිව යුතුයි. එමඟින් නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිය හැකියි.

දිළිඳු පවුල් ලක්ෂ 24ක් වෙනුවෙන් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදුකරමින් සිටිනවා. පළමු වන වසරේ සිට පහ වසර දක්වා පාසැල් ළමුන් ලක්ෂ 17කගේ පෝෂණ අවශ්‍යතාව සැපිරීමේ අරමුණින් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

තව ද මැටි, පිත්තල සහ වේවැල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාලිය, කැනඩාව මෙන්ම ජර්මනිය ඇතුළු රටවල් වෙත මෙරට නිෂ්පාදන අපනයනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආසියානු සංවර්ධන අරමුදල සමඟ එක්ව සහනදායී පොලී අනුපාතයකට ණය ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම වේවැල් ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී තිබුණා. අප විසින් ඒ සම්බන්ධයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමත්‍යාංශය සමඟ සාකච්ඡා කර වේවැල් 500ක් දක්වා ප්‍රවාහන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. තවද මැටි ප්‍රවාහන කිරීමේ දී කියුබ් 05ක උපරිමයක් සඳහා අවසර ලබාදීමට ජාතික ශිල්ප සභාව සමඟ සාකච්ඡා කර අවස්ථාව සලසා දී තිබෙනවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න