දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි - ජනපති

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි - ජනපති

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් උපදෙස් ලබා දී ඇත.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පවරා ඇත.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් විදුහල්පතිනි ප්‍රියංගිකා විජේසිංහ  විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙතද සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේ ද පැවසිය,

අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. මෙම අවස්ථාව රජයේ එක් අපේකෂාවක් ඉටුවන අවස්ථාවක් ලෙස මම දකිනවා. අධ්‍යාපනය සම්පූර්ණ විමට නම් සිසුන්ට විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මන්දපෝෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මුල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළයාමට ආදායම් මට්ටම පමණක් හේතු වී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටත්වන්නේ උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මඟ හැරි යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත්, කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල තුළ ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් වෙනවා.

නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප නිර්මාණය කළ යුතුතේ 2024ට පමණක් නොව 2030ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක්. එම වැඩකටයුතු දැන් අප කරගෙන යනවා. ගුරුවරු පුහුණු කිරිම, නවීන තාක්ෂණ දැනුම ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී පළමුව පාසල් වල AI සංගම් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ජාතික AI මධ්‍යස්ථානය නීතියෙන් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. මෙම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන දාහක් වෙන් කර තිබෙන බව කිවයුතුයි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන පාසල්වලට පමණක් නොව උසස් පෙළ අධ්‍යාපනය තිබෙන සියලු පාසල්වලට කෘත්‍රීම බුද්ධිය වැඩසටහන හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

අප නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුමද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ද අප එවැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න