කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා සම්මානය ලංකාවට !

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා සම්මානය ලංකාවට !

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි.

කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද සහභාගී විය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්/දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එහිදී ශ්‍රී ලංකාවට හිමිවූ සම්මානය ලබා ගත්තේය.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ පරිහානිය සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුද සඳහා විසඳුම් සෙවීමේ දී ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දීම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරයේ ප්‍රමුඛ අරමුණක් විය.

සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රථම, රැස්වීමේ සාකච්ඡා සඳහා අවශ්‍ය පදනම සකස් කිරිම සඳහා එහි ස්ථිර නියෝජිතයන්ගේ විවෘත කමිටුව රැස් වූ අතර කඩොලාන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් බව එහිදී ඉස්මතු කෙරිණි.
අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසිවාරයේදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ අතර මිනිසා සහ සොබාදහම අතර නව සබඳතාවක් ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡාවන්ට එහි න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානයක් හිමි විය.

පාරිසරික ගැටලු පිළිබඳවද පුළුල්ව විමසා බැලෙන සහ ඒ වෙනුවෙන් කැපවූ ප්‍රධාන ගෝලීය සංසදය වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සුරක්ෂිත පරිසර පද්ධතියක් වෙනුවෙන් වූ තීරණාත්මක මුලපිරීම් සහ නවෝත්පාදන උපාය මාර්ගයන් සඳහා පුළුල් වේදිකාවක් සපයනු ලබයි.
රාජ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, පර්යේෂකයන් සහ විද්වතුන් සහභාගී වන මෙම සමුළුව පාරිසරික ප්‍රතිපත්ති සකස් කිරීමේ වේදිකාවක් ලෙස ද කටයුතු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න