නඩුවට ගෙනා Onmax DT අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විරෝධයක් !

නඩුවට ගෙනා Onmax DT  අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විරෝධයක් !

නීති විරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළ බවට චෝදනාලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ඇප ලබාගැනීමෙන් පසු රහසිගතව විදේශගතව ඇති බවට විමර්ශන නිලධාරීන් අද (15) අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ නීතිවිරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැම්පත්කරුවන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා ලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට එරෙහි නඩුව අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අනාවරණය වූ ආකාරයට නඩුවේ 6වන සැකකරු වන Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ධනංජය ජයාන් චාමර නැමැත්තා ඇප ලබාගැනීමෙන් පසුව මෙලෙස රහසිගතව විදේශගතව ඇත.

කෙසේ වුවත් එම පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබේ.

මෙහිදී සමාගම් අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්ත  කරුණු දක්වමින් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් අදාළ අධ්‍යක්ෂවරුන්ට අයත් බැංකු ගිණුම් 58ක් අත්හිටුවා ඇති බැවින් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවා නිමකිරීමට නොහැකිව ඇති බවය.

එමෙන්ම මෙම අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ අන්සතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති නමුත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ මහාධිකරණයට පමණක් වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්  පැවසූවේ විමර්ශන පවතින අවස්ථාවක විමර්ශන නිලධාරීන් ඉල්ලීමක් කරන්නේනම් විමර්ශන සඳහා සහාය වීමට දේපොළ හෝ බැංකු ගිණුම් තහනම් කිරීමේ හැකියාව තම අධිකරණයට පවතින බවය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.ඒ. පී රණවක  අධිකරණය හමුවේ පෙන්වාදුන්නේ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අයත් දේපොළවලින් සුළු කොටසකට පමණක් තහනම් නියෝග ලබාගෙන ඇති බවත් විමර්ශනයට ලක් නොවූ තවත් රුපියල් කෝටි ගණනක දේපොළ අධ්‍යක්ෂවරුන් සතුව පවතින බවත්ය.

එවන් තවත් දේපොළ පිළිබඳ ලියවිල්ලක් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් එකී දේපොළ තහනම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු සළකා බලා අදාළ දේපොළ තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරුව නඩුව මැයි මස 2 වනදා දක්වා කල්තැබීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර Onmax DT ගනුදෙනුකරුවන් අද අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටි අතර චෝදනා ලත් අධ්‍යක්ෂවරුන් අධිකරණයෙන් පිටව යද්දී ගනුදෙනුකරුවන් පැමිණ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථයේ මග හරස් කර විරෝධය පළකළේය.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න