ජනපති ධූරයට සුදුසුම පුද්ගලයා රනිල් : ප්‍රසන්න කෙලින්ම කියයි !

ජනපති ධූරයට සුදුසුම පුද්ගලයා රනිල් : ප්‍රසන්න කෙලින්ම කියයි !

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවයි.

එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද හෙතෙම පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ ඊයේ (15) උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.

ගම්පහ සහ මිනුවන්ගොඩ ආසනවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.

“ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව මොකද කරන්නෙ කියලා හැමෝම අහනවා. පොහොට්ටුව තවම අපේක්ෂකයෙක් තෝරලා නැති බව මම ඉතා වගකීමෙන් කියනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පක්ෂය තවම සලකා බලමින් ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදිය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ජනාධිපතිවෙලා නැවැත වරක් රට පාලනය කරන්න ඔහුට ඉහළම සුදුසුකම් තිබෙනවා.

මීට වසර දෙකකට පෙර රටත් ජනතාවත් අතිශයින්ම ඛේදජනක ඉරණමකට මුහුණ දුන්නා. ජනතාව පෝලිම්වල අපා දුක් වින්දා. නමුත් අද වනවිට එදා තිබූ ‍බොහෝ ප්‍රශ්න නිරාකරණය වෙමින් තිබෙනවා. එහෙත් තව රාශියක් ඉතිරිවෙලා තිබෙනවා. හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. 2004දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කළේ යුද්ධය දිනන්නයි. 2015 මෛත්‍රීපාල සිරිසේන පත් කළේ යහපාලනය ‍ස්ථාපිත කරන්නයි. 2019දි ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වෙ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නයි. එහෙනම් අපි අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඕන රටේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවානම් අපි පක්ෂක් ලෙස සන්ධානගතව ඔහුට සහය දිය යුතුයි කියන තැන මම ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි.

දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. එක එක ජාතියේ අපෙක්ෂකයෝ එනවා. පෙට්ටිකඩයක් එහෙමත් නැත්නම් ආයතනයක් පාලනය කරනව වගේ රටක් පාලනය කරන්න බෑ. කයිවාරු ගහන්න ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් වැඩ කරන්න හැමෝටම බැහැ. ආර්ථික අර්බුධ විසඳලා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරන්න අපිට ඉතිරිවෙලා තියෙන්නෙ ඉතාම සීමිත කාලයක්. ඒ නිසා අනිත් අපේක්ෂකයන්ට එක අවස්ථාවක්වත් දෙන්න අවස්ථාවක් අපිට ඉතිරිවෙලා නැහැ. මේක අත්හදා බැලීම් කරන කාලයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ කයිවාරු නැති වැඩ විතරක් තියෙන අනාගතවාදී නායකයෙක්. ඒ නිසා ජනාධිපතිධූරයට මේ මොහොතේ ඉහළම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයා යැයිද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න