ජනපති ප්‍රධානත්වයෙන් සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සමරයි !

ජනපති ප්‍රධානත්වයෙන් සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සමරයි !

පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (11) පස්වරුවේ පැවැත්විණි.

පළමු හා දෙවන ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබලුන් සිහිපත් කරමින් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කෙරුණු රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම සැමරීම ද මෙහිදී සිදු කෙරිණි.

උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) මහතා විසින් පිළිගනු ලැබීය.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව රණවිරු සැමරුම් උත්සවය ආරම්භ කෙරිණ.

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වුණු අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ අනෙකුක් සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයන් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.

රණවිරු ස්මාරකයේ විශේෂ සියවස් සමරු ඵලකය නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් එළිදැක්වුණු විශේෂ සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

නාවික හමුදා සුළු නිලධාරි (විශ්‍රාමික) කේ. නිහාල් මහතා විසින් සම්පාදිත “War memorials in Sri Lanka” නමැති ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා විසින් සිදු කළේය.

සැමරුම් උත්සවයට එක්ව සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග ජනාධිපතිවරයා සමූහ ඡායාරූපකට ද පෙනී සිටියහ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරු ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, සේවා මුක්ත භට සංගමයේ භාරකාර මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් උපාලි බණ්ඩාරතිලක යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයන් ද, බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලිලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.IMG 20231111 WA0012

IMG 20231111 WA0016

IMG 20231111 WA0018

IMG 20231111 WA0019

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න