රට සංවර්ධනය කිරීමට ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට රතු එළියක් !

රට සංවර්ධනය කිරීමට ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට රතු එළියක් !

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී එම දිස්ත්‍රික්කවල සංවර්ධනයට අදාළව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට ආපස්සට ගෙනයාමේ වැඩපිළිවෙළකට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම 2022 දෙසැම්බර් 22 සහ 2023 අප්‍රේල් 10 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවන්හිදී ගනු ලැබු තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමද සිදු විය.

දිස්ත්‍රික්කයේ රෝහල්වල ඖෂධ හිඟය පියවීම, පාසල් ගුරු හිඟය පියවීම, මාර්ග පිළිසකර කිරීම පානීය ජල ගැටළුව විසඳීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගනු ලැබූ කඩිනම් පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ නිලධාරීහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

එමෙන්ම එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර නිරාකරණය කර ගැනීම ද සිදු කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණීය මෙන්ම සුව පහසු සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා ගෙන තිබෙන තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම සංචාරක ක්ෂේත්‍රය සඳහා ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමට නම් රාජ්‍ය නිලධාරීන් ලබාදී ඇති උපදෙස් අනුව කඩිනමින් තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් තම ආයතන විෂය පථය පිළිබඳ මනා දැනුමක් පවත්වාගත යුතු බවත් එසේ නොමැති රාජ්‍ය ආයතනවලින් ජනතාවට සේවාවක් නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද උදෑසන පැමිණි ජනාධිපතිවරයා එහි පහත මහලයේ ස්ථාපිත කර තිබූ “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” විවෘත කිරීමට ද එක් විය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී දිසානායක, වී. එස්. රාධක්‍රිෂ්නන්, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන් ද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පී.කේ. නන්දන  ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න