බදු පොල්ලේ තරම මහින්දානන්ද හෙළිකරයි !

බදු පොල්ලේ තරම මහින්දානන්ද හෙළිකරයි !

මෙරට ආදායම් බදු පෞද්ගලිකව ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින පුද්ගලයන් ලක්ෂ පහෙන් ආදායම් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි .

මෙරට සීමිත සමාගම් 105,000ක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින බවත් එම සමාගම්වල බදු ආදායමෙන් සියයට 82 ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති හිග බදු මුදල වන රුපියල් කෝටි 90400 ක මුදල අයකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත .

බදු ආදායම් අයකර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කරගෙන යන බව සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇත .

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බවයි.

පසුගිය 2023 වර්ෂය සඳහා රජය ලබාදී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් කෝටි ලක්ෂ 16ක මුදල මුල් මාස 6 තුළ සියයට 40 ක් ලෙස සහ ඉතිරි මාස හය තුළ සියයට 60ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිතවූ බවත් මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වනවිට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

එයට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසිය.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි‍.

එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යනාදී ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ඉතා ඉක්මනින් සකසා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම මෙරට පෞද්ගලික බදු ලිපිගොනු නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන්වන විමලවීර දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සුදත් මංජුල, ගුණතිලක රාජපක්ෂ, ධම්මික පෙරේරා, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, මධුර විතානගේ, එම්. මුසාම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න