රට බරපතළ අනතුරක දැමීමේ උත්සාහයක් ගැන කරූගෙන් අනාවරණයක් !

රට බරපතළ අනතුරක දැමීමේ උත්සාහයක් ගැන කරූගෙන් අනාවරණයක් !

ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කරයි.

එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.

 එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

''මේ දිනවල රටේ විවිධ පාර්ශවයන් විසින් සිදුකරමින් පවතින ඇතැම් ප්‍රකාශ හා ඒවා ආශ්‍රයෙන් සිදුකරමින් පවතින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකරන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ඒවා මගින් රට නැවත වතාවක් රට බලවත් අනතුරකට යොමුකරවීමේ උත්සාහයක් තිබිය හැකි යයි අනතුරු අඟවන්නෙමු.

විවිධ ආගමික කරුණු පදනම් කරගනිමින් රටේ ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශයන් ගැන සැලකීමේදී අප තුළ ඇතිවන්නේ බලවත් වේදනාවකි. එමෙන්ම අප රටේ අතීත බොහෝ අප්‍රසන්න සිදුවීම් සිහිපත් කිරීමේදී ඒවා බොහෝමයකටම මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ හා ක්‍රියාකාරකම හේතු වී ඇති බව ඉතාමත්ම පැහැදිලිය. එවැනි තත්වයක් තුළ මෙවන් උත්සාහයන් හරහා රට නැවැත එවැනි විනාශකාරී තත්වයකට යොමුකරවීමේ දුෂ්ට උත්සාහයන් තිබේද යන්න ගැන ගැඹුරින් අවධානය යොමුකල යුතුව තිබේ.

1983 අවාසනාවන්ත තතවය ඇතිවීමට පෙර මෙවැනිම වූ පසුබිමක් රට තුළ දැකගත හැකි විය.1915 ආගම්වාදී ගැටුමට හේතු වූවේ ද මෙවැනිම වූ කරුණුය. එමෙන්ම පාස්කු ඉරිදා දින ඇතිවූ සිද්ධියෙන් ඇතිවූ වේදනාකාරී කැලැල් තවමත් සුවපත් කරගැනීමට අපොහොසත් වී ඇති රටක මෙවැනි වාතාවරණයක් කිසිසේත්ම සැහැල්ලුවට ගත යුතු නැත.

වාර්ගික හා ආගමික සහජීවනය තහවුරු කරගැනීමට අපොහොසත්ව ඇති සෑම රටක්ම මුහුණ දෙමින් සිටින ඛේදජනක ඉරණම සැලකීමේදී මෙන්ම මෙවන් තත්ත්වයන් තුළ අප රටට ද අත්කර දුන් විනාශයන් සිහිපත් කිරීමේදී යළි එවන් අවාසනාවන්ත තත්වයක් නිර්මාණය වීමට ඉඩ නොදීම ජාතියක් ලෙස අප සතු වගකීමකි. එහිදී රටේ දේශපාලන අධිකාරියට මෙන්ම සියළුම ආගමික නායකයන්ට ද සිවිල් සමාජ සංවිධානවලට හා ජනමාධ්‍ය වෙත ද බලවත් වගකීමක් ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එමෙන්ම එවන් පටු

උත්සාහයන් පරාජය කිරීම සඳහා මේ රටේ බුද්ධිමත් ජනතාව පෙරට පැමිණිය යුතු කාලය මෙය වන බව ද අපගේ විශ්වාසයයි.

එබැවින් රටේ ජාතික නායකයන්ගෙන් ද ආගමික නායකත්වයන් ගෙන්ද පොදුවේ සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ අප හමුවේ ඇති දුෂ්ට අරමුණු සහගත උත්සාහයන් ඉදිරියේ බුද්ධිමත්ව, ඉවසීමෙන් හා සං‍යමයෙන් යුතුව කටයුතු කරන ලෙසටය. ''

අප රට නැවතත් විනාශයකට යොමුකල හැකි සියළුම උත්සාහයන් පරාජය කිරීම සඳහා පෙරට එන ලෙසට 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමස්ත ශ්‍රී ලංකිකයින් ඉල්ලා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න