ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දුට අතුරු නියෝගයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දුට අතුරු නියෝගයක්

ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම හෝ සැකකරුවකු වශයෙන් නම් කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (24) නිකුත් කර තිබේ.

ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්ය.

එම ලිපිය මත ඉදිරි පියවර ගැනීම සහ ඒ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු නියෝග දෙකක් ද නිකුත් කර තිබේ. ඔහු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපතිවරයාට මැයි මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබ ඇත.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජූලි මස 09 වනදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් තම සේවාදායකයා නම් කර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමුකර ඇති බව සඳහන් කර ඇත.

යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු සැකකරු වශයෙන් නම් කරන්නේද යන්න තීන්දු කළ යුත්තේ පොලිසිය බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි තීරණයක් දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව එහිදී පෙන්වා දී ඇත.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් උසස් වීම් පිරිනැමීමට නියමිත අවස්ථාවක හදිසියේ තම සේවාදායකයා සැකකරු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කිරීම විමතිය දනවන කරුණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඔහුගේ බලය ඉක්මවා ගිය නීතිමය වලංගු භාවයක් නැති කටයුත්තක් බවටත් චෝදනා කර සිටියේය.

ඒ තුළින් තම සේවාදායකයාට හිමි ස්වභාවික යුක්ති ධර්මය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න