පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ වෙනස සිහිකරලා : පළමු සුබ පැතුම ජනාධිපතිගෙන් !

පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ වෙනස සිහිකරලා : පළමු සුබ පැතුම ජනාධිපතිගෙන් !

පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට බවත් අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට එදා රට මැදිව තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත්කළ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් වෙයි.

නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමින් බවත් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත්කළ අලුත් අවුරුදු පණිවිඩය පහත දැක්වෙයි .

අලුත් අවුරුදු පණිවිඩය

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි.

සියලු ජනතාව එකම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රිකත්වයේ අපේක්ෂාවෙන් පෙරදැරිවය.

පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටය. අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමිනි.

අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමටය.

එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණි.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටය.

සුබ අලුත් අවුරුද්දක් වේවා !

 රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 අප්‍රේල් 12 වන දින

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න