එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දිය අවුල් වෙයිද ?

එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දිය අවුල් වෙයිද ?

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීම සඳහා නැව අසලට යෑමට නොහැකිවීම හේතුවෙන් එම පරිසර හානිය සම්බන්ධයෙන් වන්දි ගැනීමට පවරා ඇති නඩුවේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් ඇති වනු ඇතැයි පරිසරය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45ක කාලයක් පමණක් බවත් නඩු පැවරීම නෞකාව අයත් සිංගප්පූරුවේ කිරීම අවාසි සහගත බවත් පරිසරවේදීහු සහ නීතිඥවරු පිරිසක් එම කාරක සභාව හමුවේ පැවසූහ.

නැව අසලට යෑම අනතුරුදායක බව පැවසීම නිසා නැව තුළ මෙන්ම නැව අසල පරිසර හානිය තක්සේරු කිරීමට බාධා මතුව ඇතැයි හානිපූර්ණය ගණනය සඳහා පත් කෙරුණු විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

මේ අනුව එම නෞකාවේ ඉතිරිව ඇති කොටස් ආසන්නයට ගොස් හානිපූර්ණය ගණනය කිරීම සඳහා සාම්පල ගැනීමට විද්වත් කමිටු සාමාජිකයන්ට පහසුකම් සම්පාදනය කරදෙන ලෙස පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට(මීපා) සහ ජාතික ජලසම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයට (නාරා) උපදෙස් දුන්නේය.

අනතුරට අදාළව ඇමරිකානු ඩොලර් කෝටි 600 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාල විද්වත් කමිටු වාර්තාව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ ඇති බවත් නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ යුතු බවත් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ එම වාර්තාව පදනම් කරගෙන වන්දි මුදල් ලබා ගැනීමට නඩු පැවරීම කඩිනමින් කරන බවයි.

මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අප්‍රේල් 25 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී 2021 වසරේදී අනතුරට පත්වීමෙන් විශාල සමුද්‍රීය පරිසර විනාශයක් සිදුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න