මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් !

මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් !

මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් නිවැරදි නොවන ලෙස අර්ථකථනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ,පසුගිය දිනක පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව ඇතිවූ තත්ත්වයක් සම්බන්ධයෙනි.

එම මාධ්‍ය වාර්තාවලට අනුව ‘ඉදිරි කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය දැනට පවතින තත්ත්වයටත් වඩා දුෂ්කර වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරන බව’ සඳහන් කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් බව මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් කර ඇත .

අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුවහොත් හෝ අරමුණුවලින් බැහැරව කටයුතු කළහොත් ඉදිරි කාලය තුළ ආර්ථිකයට මුහුණදීමට සිදුවිය හැකි අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද අතර එම සමස්ත කරුණුවලින් බැහැරව අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් පිළිබඳ මෙලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කර ඇති බව ඉන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

2022 වසරේදී ඇතිවූ පෙර නොවූ අන්දමේ සමාජ - ආර්ථික අර්බුදවලට සාපේක්ෂව රජය සහ මහ බැංකුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දුෂ්කර හා අසීරු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආර්ථික තත්ත්වයන් ස්ථායී කිරීමට හේතුවී ඇති බව අධිපතිවරයාගේ අදහස වෙයි.

ඒ අනුව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, "මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස සිදුකරන ලද සැලකිය යුතු අන්දමේ ගැලපුම් පිරිවැය හේතුවෙන් මෑත කාලීනව ජනතාව සහ ව්‍යාපාර දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුවද, එම ප්‍රතිස‍ංස්කරණ ඉදිරි කාලපරිච්ඡේදය තුළ ජනතාව සහ ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ සැලසෙන පරිදි ආර්ථික ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය විය." යනුවෙනි.

කෙසේවෙතත්, ආර්ථික වර්ධනය ඉහළ නංවන ප්‍රතිසංස්කරණ ඇතුළත් වන අපේක්ෂිත ආර්ථික ගැලපුම් වැඩසටහනෙහි යම් ප්‍රමාදයක් හෝ වෙනස්වීමක් සිදු වුවහොත්, ඉදිරි ආර්ථික දැක්ම දුර්වල වන අතර එමගින් අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම කෙරෙහි සැලකිය යුතු අවදානමක් ඇති විය හැකි බව අධිපතිවරයා යළිත් අවධාරණය කළේය.

එබැවින්, ඉතිහාසය තුළ මුහුණදුන් උග්‍රතම අර්බුදයෙන් මිදීමට උත්සාහ දරන තීරණාත්මක මොහොතේ දැනුම්වත්ව හෝ වෙනත් අරමුණකින් පළ කරන ලද සාවද්‍ය මාධ්‍ය වාර්තාවලින් අධෛර්යයට පත් නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න