මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක් !

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක් !

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) රැස්වූ අවස්ථාවේය.

තවද විශේෂ විගණන වාර්තාවෙන් මතු කෙරුණු කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටද එහිදී එකඟත්වයක් ඇතිව තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය කෝප් රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණ. විශේෂයෙන් පාලක සභාවේ 209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳවද සාකච්ඡා කිරීමට එකඟත්වයක් ඇතිවිය.

අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කර ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අත්සන් කළ හත් දෙනා මෙම රැස්වීමේ අත්සන් නාමලේඛනයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බව පැවසීය.

එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ඉහත නිර්දේශය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න